වැහි කිරිල්ලී

Wednesday, January 15, 2014

හිතෙත් දී.....ඔහේ කුරැටු ගෑවා .......



සතර අතින් එන සහසක් මිනිසුන් ගේ නවාතැනක් වෙන කුරැණෑගල අද දරාගන්න බැරි තරම ට ම පාලු වෙලා. ඉදල හිටල කොණකින් මතු වෙන මිනිස් රෑපයක් ඇරෙන්න අද නගරයේ තනි රකින්න කවුරැත් ම නෑ. පෝය දවසෙත් වරැවක් ශ්‍රමය වැය කරන්න වුණ නිසා මම හුදකලාව පාලුවට ගිය කාර්යාලයේ අසුනක  ට බරවෙලා ඔහේ ඈත බලාගෙන උන්නා. මේ වර්ෂය ඇරඹු මුල් දින පටන් ම මගේ ජීවිතේ හරි ම සංකීර්ණ වෙලා. මම ආස කරන සරළ කම මගේ නිදහස මගෙන් දුරස් වෙලා දුර ගමනක් ගිහින්. මේ හැමදේම ගැන නිස්කාන්සුවේ හිතන්න කියලා අසුනක ට බර වුණත් කාලයේ න් ගොඩක් දුර ඒත් මතකයෙන් අද ඊයේ වගේ වුණ අපූරැ නිමේශයක් මගේ හදවතට ආවා. මීට අවුරැදු දෙක තුනක ට කලින් දිනෙක හැමදාම පුරැද්ද ට වගේ දේශන වල ට යන්න පරක්කු වෙන මමත් මගේ යෙහෙළියත් කඩි මුඩියේ අවසාන නිමේෂයේ දේශන ශාලාවට දුවන්න පටන් ගත්තා. අපි අපේ දේශන ශාලාවට යන්නේ කළමනාකරණ පීඨය පසු කරමින්. එදා මේ කළමනාකරණ පීඨය අසළ දැවැන්ත පුවරැවක දැක්වුණේ හවස් යාමයේ ප්‍රකට දේශක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ දේශනයක් විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බවයි. කවදාවත් නැතුව ව්‍යාපාර ඇසින් සියල්ල දකින මගේ යෙහෙළියත් මමත් එකම මතයකට ආවේ අප මෙම දේශනයට යා යුතු බවයි. ඉතින් අපි ගියා. රත්න ශ්‍රී මහතාගේ දේශනයත් හරිම අපූරැවට කෙරීගෙන යනවා. රත්න ශ්‍රී මහතා විචරය ට බදුන් කළ එක් ගීතයක් වූයේ අසංක ප්‍රියමන්ත ගායන ශිල්පියාගේ මගේ දරැ පැටවු ගීතයයි. පෞද්ගලික ව මම මනාප නොවුණත් ගීතය අග සිට මුල ට අසා තිබුණා. මෙම ගීතයේ අවසන් පද පේළි වුයේ හඩන සිත නිවන මල් පැණි නැතිව බැරි හැඩයි යන්නයි. රත්න ශ්‍රී කවියාගේ තර්කය වූයේ දරැවන් වෙනුවෙන් අපමණ ට වෙහෙසී දරැ සෙනෙහස උකස ට තබා සත් සමුදුරැ එතෙර හදවති න් හඩමින් දිවා රෑ වෙහෙසී කදුලු දරනා අම්මලා ට මෙ පද පේළි මේ ගීත සාහිත්‍ය අසාධාරණයක් කරනා බවයි. ඇය දහසක් දුක් දරද්දී ශාරීරිකව ඇය නැති සොවින් වෙනත් මල් සොයා පැණි සොයන පුරැෂයන් සාධාරණී කරනය කීරීමක් මේ පද පේළි හරහා වන බවත් කියමින් රත්න ශ්‍රී මෙම ගීතය නිර්දය විචාරය ට ලක් කළා. මම එදා ඔහු ගේ විචාර ය අසමින් ආළෝලනය වූවා. මේ ගීතය කොතරම් ආසාධාරණ දැයි සිතද්දී මට නිතැනින් ම මේ ගීතයේ පද රචකයා ගායකයා ගැන පහළ වුයේ සිහින් කළකිරීමක්. නොපහන් හැගීමක්.
     

අද හීනීයට වැහි පොද වැටෙන පාලුවට ගිය කුරැණෑගල නගරය ට නෙත් යොමා සිතුවිලි වල පැටලී ගිය මට අතපසු ව ගිය යමක් සිහි වූවා. කලාව යනු කුමක් ද? ඇයි අපි ගම් පෙරළිය, යුගාන්තය මහා ඉහළින් වර්ණනා කරන්නේ. අපි උසස් පෙළ සමයේ දත් හපා ගෙන විචාර ලියූ වේ නම් මෙම නවකතා යථාර්තවාදි ව පවත්නා තතු ඒ අයුරින් කලාත්මක ස්වරයකින් සහෟදයා වෙත ළන් කරවා යැයි. මම මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරැදු දා හදවතින් සිප ගත්තේ සංකීර්ණ මිනිස් සිතුවිලි යථාර්තවාදී ව විනිවිදි න නිසාවෙනි. එසේ නම් අසංක ප්‍රියමන්ත ගයන මේ ගීතය මා බැහැර කළේ කෙසේද? ගැහැණිය කෙතරම් නිවැරදි වුව ද ඇය අසාධාරණය ට ලක් වූව ද ලාංකීය සමාජයේ යාථාර්තය නෙවේද අසංක ගයන්නේ. එතෙර ට ඉසුරැ සොයා ඇදෙන කුටුම්භ වල සැබෑ ඛෙදවාචකය මෙය නොවන්නේ ද? ක්‍රියාවලිය කෙතරම් ආසාධාරණ වුව ද මිනිස් සිතුම් විස්තර කරන්න බැරි තරම් සංකීර්ණ යි. ජීවිත තරාදියේ අග හිග කම් තැටිය බැදීම් තැටිය ට වඩා බර වෙද්දී බැදීම් රැක ගන්න මවු වරැන් එතෙර ඇදෙනවා. තත්පර මිනිත්තු වෙද්දී පැය දින වල ට හැරෙද්දී සති මාස, මාස අවුරැදු වෙද්දී බැදීම් වල රස්නෙත් දුරස් වෙනවා. මානසික ප්‍රේමය කිසිදා මිලින නොවන්න ක් යැයි මා බැතිබර ව ඇදහු ව ද තර්කය කුමක් වුවද සැබෑව නම් මිනිසුන් තමන් ගේ ජීවිත වල හිස්තැන් පුරව ගන්න අසංක කියන විදිහ ට ම කියනවා නම් හඩන සිත නිවන්න මල් පැණි සොයා ඇදෙනවා. යාථාර්තය මේ පද පේළි වලටත් වඩා දරැණු යි. මව් නැති කුටුම්භයේ පියා දියණිය යන ලේ බැදීම් සුණු විසුණු වුන සමාජයක දෙපා තබන අපි, මම එදා අසංක ප්‍රියමන්ත නිර්දය විවේචනය ට ලක් කළා. ඒත් අද මම ඔහු වෙනුවෙන් පෙනි සිටිමි. ඔහු ගැයුවේ යථාර්තයෙන් එක් බිදක් පමණ යැයි මට දැනේ. ඇත්ත අමරදේව ගැයු වද අසංක ප්‍රියමන්ත ගැයුවද වෙනස් නොවන්නකි. පිට රටට මෙහෙය කිරීමට ඇදෙන මව් අසුන හිස් වූ පවුලේ පුරැෂයා ට දැනෙන අව්‍යාජ සිතුම් දහරාවක් සේ මෙම ගීතය මම අද දකිමි. එදා රත්න ශ්‍රී ගේ දේශනය මැද දී දෑත් ඔසවා මෙය යාථාර්තවාදී නොවන්නේදැයි නොඇසීම ගැන මම අද තැවෙමි.

5 comments:

indrasiri said...

degatama liyanna....oba liyana dewala watinakamak danenawa..pera sema...

වැහි කිරිල්ලී said...

එක් පුදුමයකි ඔබ පිළි ගත්තා හෝ නොපිළිගත්තා
මම කිසි දිනෙක නොලීවෙමි. ලිය වුණා මිසෙක
තුති ඔබට දිරි දෙන වදන් අකුරැ කර හැරියා ට....

Praneeth Kosala said...

"මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි,
අඬන සිත නිවන මල්පැණි නැතුව බැරි හැඩයි"
දිවා රෑ නින්දක් නැතිව බිරිඳ ගැන කල්පනා කරන මේ අහිංසක, අසරණ මනුස්සයා බිරිඳගෙ අඩුපාඩුව මකා ගන්න වෙන මලක රොන් ගන්න යනව කියන එකද මේ ලියවිලා තියෙන්නෙ, මගේ සාහිත්‍ය දැනුම නම් ටිකක් අඩුයි,නමුත් මට දැනෙන විදිහට මේ පද පේලි දෙකෙන් කියන්නෙ ඇඟේ අමාරුවට ඊටත් වඩා හිතේ අමාරුවට හැන්දෑවට පොඩි අඩියක් අහන්න පුරුදු වෙලා කියන එක නේද?

වැහි කිරිල්ලී said...

ඒක අර්ථ දෙකක ට ගන්න පුලුහන් කෝසල.ඒත් අවසන් පද පේළිය ට කලින් මටත් නින්ද නෑ හිත නුඹ ගැන ම ගතු කියයි කියනවනේ. හිතන්නකෝ බිරිද ළග නැති මේ පුද්ගලයගේ හිත ට රාත්‍රියේ තනිකම වේදනාව දැනෙනවා. පොඩි පැටවු ඉන්නවා කියන්නේ ගොඩක් දුර ට මේ යුවල තරැණ වයසේ ඉන්න දෙන්නෙක් වෙන්න පුලුහන්. මේ තරැණ සැමියා හැගීම් සුසුම් අතරේ හුදකලාව බිරිද ගැන හිතනවා. බිරිද කෙරෙහි කොතරම් ආදරයක් හිතේ තිබුණත් හිත යාන්තම ට ගතු කියනවා මේ තරැණ බිරිද ගැන. ඉතින් දරැණු වට ම තනිකමින් හුදකලාවෙන් පහර කන මේ තරැණ බඹරා වෙනත් මලක මල් පැණි ගැන නේද මේ හිතන්නේ කෝසල

Lakshan Priyantha said...

මම මෙ එක හින්දම මගේ දරු පටව් ගීතය කීප වතාවක්ම ඇහුවා.මට හිතෙන්නේත් මේ ගීත්යේ බිරිඳට පුංචි සැකයක් තියේනවා විදේශ ගත වෙන්ට පෙරම,මොකද මේ කාන්තාව විදේශ ගත වෙන්නේ, දරු සෙනෙහස උගසට අරගෙන"යන්න නුඹ ගියා උගසට දරු සෙනේ අරන්.....