වැහි කිරිල්ලී

Monday, July 7, 2014

සංවේගයෙන් ලියන වග නම් ................



නිමිත්ත : පේරාදෙණිය සරසවියේ රොබෝරොසියා ගස වියපත් ව කපා ඉවත් කිරීම.


සුළ‍ඟේ මුසු වී හමා යන්න ට
තෙපුළ රහසක් දරා උන්නා.............
හමුව වෙන් වූ
සුවහසක්
කඳුලු සුසුමන් දරා උන්නා...........
ආලවන්ත කම් සිඹින දෙකපුල්
ලොවින් සඟවා රහස් රැක්කා......
නමුදු
ආවොතින් යන්න වේ නම්
නියත දහම ම එයම නම්
කාලයෙන් වියපත් ව
වියැකි යද්දී
මතක පමණ සඳා
ශේෂ වේවී

හදවත ට ගුලි වෙච්ච
ආදරෙන්.....................
 




Sunday, June 29, 2014

කාලෙකට පස්සේ....................



කාලෙක ට පස්සේ අහම්බෙන් ලියවුණා. ලියවෙන්න ට නිමිති දෙකයි. මේ නිමිති දෙකම අස්සේ ජීවිතේ මිනිසුන් තළන පෙළන හෙළන සංකීර්ණ ම කතාවක් හැංගිලා තියනවා කියලා මට දැනෙනවා.

නිමිත්ත 01
කාලෙක ට කලින් හමුවුණ සංවේදී සහෘද හදවතක් හැගීම් වචන කළා මෙහෙම. "නංගී ගමෙන් නගරෙ ට එන්න පාලමක් තමා කැම්පස් එන එක. එත් එහෙම එන සමහර මොළ මේ ගෙන්දගම් පොළොවේ අතරමං වෙනවා. රතු ගවුම, රතු කුඩේ, රතු සපත්තු, රතු පාට ම කොණ්ඩේ ගහගෙන මගේ කාර් එකටත් අත දාන සමහර කැම්පස් කෙල්ලෝ දැක්කම මට වේදනයි. ඒක එක හේතුවක් මම සබරගමුව ට මේ තරම් බැ‍ඳෙන්න".

නිමිත්ත 2
මටත් ඇයටත් සරසවි වරම් ලැබුණා.මම අහම්බෙන් සබරගමුවට. ඇය අග නගරය‍ ට. වසර ගණනට පස්සේ එක ම පන්තියේ බත් එක දෙක ට බෙදන් කාපු ඇය ව මට මුණ ගැහෙනවා. මම ඇයව දකිනවා. ඇය ඇයම ද හඳුනන්න බැරි තරම් යාන්ත්‍රීකරණය වෙලා. සරසවියේ වසර 4 5 නිම වුණ ද ඇය නැවත සිය නිවසට ආවේ නෑ. එන්න බැරි තරම් ඇය දුර ගිහින්.

දෙකම්බුල් ඉම්බා හීනිය ට
තබන විට පය සරසවියට
උතුරා පිටාර ගිය දාරක පෙම
දවටා ගිලිහුණා සිහින් කඳුලක් නළල් තලයට..............

ඉසිඹුවක් නොලබා ම ජීවිතය
ඇඟ මස ද දිය කර දිවි දිනුමට
නොලද සිප් සැප ආබරණ
පළදවා දරැවන්ගේ ගෙළ
හැඩ බලන මව්පිය..............

සිහින ලෝකයක්
දුකින් ගැළවෙන්න නිර්වාණයක්
බැන්ද හීන පොදි නොලිහාම
නෙතු පියන් බැඳ සැරසුවා මුවෙහි හසරැල්ලක්...................

කළාමැදිරි එළි තනිරැක්ක
රැයෙහි සරනා පියාපත් හඩ නැගුව
නිසසංසලකම නිති රැඳුන
සොඳුරැතම සිහින වෙනුව ට
විදුලි එළි දැල්වෙන දහවල ද රැය නොපෙණෙන
නෙක පැහැ නෙත් දවන
නොනවතින ගමනක
රස සවිය විය සරසවිය................

නෙත් දවන නේක විසිතුරැ මිළ ට ගැන්ම ට
සිල්ලරට වැටෙනා කාසි හිඟ වූ විට
ගණුදෙණු ම මිස වෙනත් බස නැති තැන
කය ට මිස මිලක් නොලැබුණි ද මොළය ට...............

කුස ඇළෙන තුරැ පිට පොත්ත ට
අහරක් පැනක් නොලබාම දරැ වෙතම නෙත් රඳවන
සිහින දිළිසෙන අසරණ ම නෙත් දෙක
පුදුමයකි අමතක ව ගිය සද............

මල්කුඩය මල් ගවුම
මල් පැහැය ගත් දෙපා දැවටුම
මල් රඟන වරලස
මිළ වුයේ කෙසේදැයි නොදැනේ
ලංසු දෙන්න ට ආත්මය හ‍ට...............

දිනෙක නුඹ වෙහෙස වී නවතින දාක
හැකිවේද ලබන්න ට පැතු සිහිලස
සොයන්න ට සටහන්
ගමන ඇරඹූ තැන....................


ජීවිතේ කියන්නේ නොවතින ගමනක්.ඇත්ත. එය එක ආකාරයෙන් ම පවතින්නේ නෑ. වෙනස් නොවීම විනාශයේ ඇරඹුම. ඒත් ඒ වෙනස් වීම හැකිතාක් දුර ට දරා ගත හැකි විය යුතු නොවේද? ඒ වෙනස් වීම තුළ තව දුරටත් තමන් ට තමන් නැත්නම් තමන්ගේ ආත්මය සිල්ලරට විකිණෙනනවා නම් වෙනස් වීම දරා ගන්න බැරි තරම් විඩාවක් නම් ඒ වෙනස් වීම කුමක් සඳහාද? මුදල මානුෂීය බැඳීම් පවා මිළ කරන සමයක පැවැත්ම උදෙසා සටන් වැඳීම අත්‍යාවශ්‍ය ම කරැණක්. ඒත් ඒ සටන් වැදීම තුළ තමා වෙනුවෙන් හෝ තමන් රැක ගැනීම මත සිදු වේ නම් අගනේ නොවේ ද?