වැහි කිරිල්ලී

Thursday, September 30, 2010

Life.............

කවුරැන් හෝ දනී ද
කුමක්දැයි කියා මේ ජීවිතය.......
මෙය අසම්පූර්ණ කතාවකි.

Saturday, September 11, 2010

ඇගේ මිල

බොහෝ දුක් ගෙන අවසන
තනනු රිසි වුව මහා මන්දිර
මැනිය හැකි මිටින කුස පුරවා ගෙන
වඩති සනසති අමිල දු රැව


දෙනෙත් ලෙස සුරකින
තිනෙත් යොදමින් ඈ දෙස
නේක හැගුමන් සුසුමකින් පා කර
සතෙන් සතයට සුරකි තැනුමට ඈ ලොව


බසින දින ඈ යුවතියක වී කළ එළි
ගසති අණබෙර තුන් ලොවට දී ඉගිබිගි
දෙපා යුග යුග නමදිමින් ඈ පෙරටු කොට ගෙන එති
ගැහෙන දෑතින් ගණිති සසදති ඈ යුවතියක වූ වාසිය


ජීවිතේ දුර කටුක කම් ගෙවා අවසන
කුල මලය මිල සසදවයි අදහස් පලවා හැර
නොවිමසා ඈ සිතෙහි වූ කුලුදුල් පේමය
සාක්කිත් නොසොයාම අහවරය තීන්දුව දී ජූරිය


කුසට අහරක් නෙතට නින්දක් නොලැබ
බැදීමක පහසවත් ඇදින ගන්නට වෙලා නොමැති ව
ඉතුරැමක දා සුරැකි තඹ සත ටික
දිය කරති තරැ ගණින රැයක දි සදලු තලයක් මත හිද


ජීවිතය විදදරා සුරැකි සිය නෙත් යුග
දුරින් දුරකට වෙන් ව යන සෝ දරාගනු නොහැකිව
උණුසුමේ ගිලෙන්න ට තත්පරයකුදු නොගෙන
කාසිමත තැනු ඈ දිවිමග
පිතු රැවන ගි‍ලෙයි රහමෙර සයුර වෑරැ සෝ සුසුමකින් පා කර


හිරැ නගින හිරැ බසින සෑම දින කෙළවර
කුළුණුබර වූ වදන් ගළපා ගනු නොහැකිව
කාසි සොයමින් බො දුරක් ඇවිදන් ගිය
මව්වත ද ඉකිගසයි සොයා ගනු නොහැකිව අතපසු ව ගිය සෙනෙහස


මත් වූ දෙනෙතින් ඹබන නෑ පිරිවර
සුභපතති කියා සිහිකොට බුදුගුණ
සැනසෙන්න හා සබැදෙන්න කියූ ජයමන්ගල
පිරැවත ද වැනෙයි එක් තැනක මුල්ලක


ලැබූ නම දරා සිය පරපුරේ උරැමයෙන්
කියති කුල ගොත් එකෙක් පරයන උසස්කම්
කාසි සිල්ලර ගෙදොර පිර වූ සල්පිලෙ හි අවසන
වැඩිම ලන්සුව තීන්දුයි වෙන්දේසි විය යුවතිය


නේක විසිතුරැ වර්ණ මැද නිලන්කාර ව
වැනී වැනී තාලයට සයනයට බට හිමිකම
හෙට්ටු කොට නියම කර මිල ලබාගත් සිය වස්තුව
තුරැළු කොට කරයි ගණුදෙණු හැගුම් සිත්තම් පළවා හැර


ඉකිගසන ආත්මය මොණරැන් අතර සිර වී හඩනා කළ
සුදු සයන මත වැටුණි සුසුමකින් ගිලිහුණ ලුණු රස.............

Thursday, August 26, 2010

වදන් හිග වූ මොහොතක.......ඔහේ සැරිසරද් දී.......

ආ දුර බොහොයි. මටත් පුදුමයි අපේ සබදකම් සැගව ගිය හැටි ගැන..............
නෙත් අග කදුලු බිදු අරඅදියි.සගවමි ඔ‍බෙ න් අයැදුම් කුමටද ආදරයට............

Sunday, July 4, 2010

ආදරණීය ‍යෙහෙළිය ට......

සන්වේදී හිතැත්තෙකු ට යුද ජයග්‍රහණයකින් උන්මාදයට පත් විය නොහැකි ය. මන්ද එසේ සතුටින් ආළෝලනය වන සිතට කදුළු බිදුවක අමිහිරි වේදනාව නොපෙනෙණ හෙයිනි.පටු සීමා මායිම් බිද හෙලමින් යුද්ධය නිසාවෙන් සිය ආත්මය අහිමි වූවන්ගේ ජීවන ගීතයේ ස්වර සර හැදිනීමට සන්වේදී හිතැත්තෙකු ට හැකි විය යුතු ය.වෙඩි ප්‍රහාර, ප්‍රතිප්‍රහාර නොකඩවා සිය ජීවිතය මතට පතිත වන තෙක් කිසිත් කර කියා ගත නොහැකිව බලා හිදි අවතැන් වූ ජීවිත මම ආදරයෙන් වැළද ගමි.මගේ ජාතිය, ආගම,ලෙයෙහි පාට නොබලන්න.ඇවැසි වන්නේ ඔබට සහෝදරත්වයේ උණුසුම් ම ආවරණය ලබා දීම පමණි.එකම සම බිමක, එකම මිනිස් පවුලක ඉපිද ජීවත් වීමේ පරම අයිතිය අහිමි වූවන්ගේ විලාප දෙන ආත්මය අපගේ ජයග්‍රහණයේ ය‍ශෝරාවය නොවේ.ජාතිය නිසා කිසිවෙක් ත්‍රස්තවාදීයෙක් ලෙස සැළකීම මුග්ධ සිතුවිල්ලක් මිස අන් කවරක් හෝ නොවේ.

(සැ.යු .... ජීවිතය මතට පතිත වූ දරැණුතම කම්පනයක් හමුවේ වැහිකිරිල්ලීය ගේ තෙළිතුඩ නිහඩ විය.)



Thursday, May 20, 2010

එක හැගීමක්.............

ගොඩක් ලොකු වේදනාවක් දැනෙන මොහොතක්.මේ වේදනාවට හේතු සහ පිළිතුරැ නෑ.ඇස් අගින් කදුලු කැට කඩා වැටෙනවා.ඒ කදුලු හරි සීතලයි.ඒත් කිසිම අරැතක් නෑ.මේ අඩන්නට වෙලාව නෙවෙයි.විභාගය අත ළග.ඒත් ජීවිතය වේදනාබර සීතලක කිමිදෙන විට ඉන් මිදෙන්න ට මට හැකි ද?


අපි ජීවිතයෙන් ඉල්ලන සමහර දේවල් හරිම ආත්මාර්ථකාමී යි.මේ දේ මේ විදිහට ම වෙන්න කියලා ඉල්ලලා එහෙම නොවුනම ගොඩක් හිත රිදවා ගන්නවා.ඒත් අපි ඉල්ලන දේ ඒ විදිහටම අපට ලැබිය යුතුම ද?ප්‍රශ්නයක්....අහිමි වීම සිතට ඇතිකරන වේදනාව බොහොම අමිහිරියි. මේ අහිමිවීම ඒ තරම් ලොකු දෙයක් නෙවේ. ඒක එක හැගීමක් විතරමයි.just a feeling.ඒත් ඒ එක හැගීම වෙනුවෙන් ජීවිතය බොහෝ සීතල මතකමල් පුබුදුවන හැටි.

Sunday, May 16, 2010

මතක දිගහැරැම.........

වැස්සක් වැහැලා පෑයුවා.එසේ මෙසේ වැස්සක් නෙවේ.ධාරාණිපාත වැස්සක්.වැස්ස දිහා ඔහේ බලා ගෙන ඉන්නකොට ජයනි ප්‍රසාදනි ජයසිංහ ව මතක් වුණා.තමන් ට තමන් මතක් වෙනවා ගොඩක් අඩුයි නේ.මේ ඇය ගැන නම් නෙවේ.ඒත් අමතක කරන්න බැරි කදුලක් ඇස් අග තියනවා.කාටවත් නොපෙනෙන කවුරැවත් නොදකින අදුරැ ගුහාව පොඩ්ඩක් අවුස්සන්න හිතෙනවා.


ජීවිතේ මතුපිටින් පෙනෙන සරළ යථාර්තය මත ජීවත් වුණත් ඉබේ ම වගේ හදවත ජීවිතය ඇදගෙන ගියේ අමුතු ම දිශාවකට.පොඩිකාලේ කවුරැ වෙන්න ද කැමති කියලා කවුරැ හරි ඇහුවම බහුතරය කියන වෛද්‍යවරියක්, ඉංජිනේරැවරියක් වෙනවා කියනවට වඩා කාටත් කිවේ දේශපාලනය කරනවා කියලා.හැමෝම හිනාවුණා.මොකටද ? රට හදන්න.ජීවිතේ බෝ දුක් දරගෙන කෙම් බිමක් හොයන අම්මට මේ වචන නීරස වුනත් ක්‍රියාකාරී ව සමාජය වෙනස් කිරීමේ විප්ලවයට අතගසපු තාත්තා නම් බොහොම සතුටු වුණා මේ වචන අහලා.

ම‍ගේ දෝණි ටයර් උඩ පිස්සුන කෙනෙක් ද ‍කොහෙද කියලයි තාත්තා තමන්ගේ සතුට පිට කළේ.එකම දූ මල්වර වුණා ම පිච්ච මලින් සරසපු වතුරෙන් නාවලා පිරිසිදු කරලා සුදු පිරැවටයක දවටල ලෝකයට අණ බෙර ගහන්න අම්මගේ හිතේ ‍ලොකු ගෑණු ආසාවක් තිබ්බත් ඒ වැඩිහිටි වීම සමාජයෙන් හංගලා කුටුම්බය ඇතුළ ට පමණක් සන්නි‍වෙදනය කරපු තාත්තා රන් අභරණ මිල මුදල් වෙනුවට අතේ ගුලි කළේ පුංචි අත් ඔර්ලෝසුවකුයි, පුංචි කොළ කෑල්ලකුයි.එකේ මෙහෙම ලියලා තිබ්බා.

මල්වර නැකතින් දොරට වැඩිය දූ

දූ සරසන්නට අභරණ නැති දා

දෝර ගලා ආ දරැ සෙනෙහස

නාය ගියාදෝ නොදනිමි මා

ඇති නැති පරතර මැවෙනා ලෝකෙක

ඇති නැති පරතර මිහිදන් කෙරැමට මල්වර

නැකතින් පෙරට එන්න දූ

දූ සනසන්න ට දූ සරසන්න ට

අතමිට මා අත හිග මුත් දෝණි

හදවත තුළ අදිඨන නැගුමට යෝධ දිරිය මා සතුවේ දෝණි

දූටත් ඕන වුණේ වෙනසක්.යෙහෙළියෝ සම වයසේ බොහෝ දෙනා විරැද්ධ ලිංගිකයන්ට ආදර ඉගිබිගි පා කරද්දී සිනමාවේ වීරයෝ බිත්ති කාමර වල පුරවද්දී සුදු හුණු ගාපු දූගේ කාමරේ සැරසුනේ එකම ඡායාරෑපයකින්. ඒ ඡායාරෑපයට යටින් තිබ්බේ යමෙක් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ නම් හේ ‍මගේ ළග ම සගයා වේ කියලා.
දූටත් ඕන වුණේ වෙනසක්.යෙහෙළියෝ සම වයසේ බොහෝ දෙනා විරැද්ධ ලිංගිකයන්ට ආදර ඉගිබිගි පා කරද්දී සිනමාවේ වීරයෝ බිත්ති කාමර වල පුරවද්දී සුදු හුණු ගාපු දූගේ කාමරේ සැරසුනේ එකම ඡායාරෑපයකින්. ඒ ඡායාරෑපයට යටින් තිබ්බේ යමෙක් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ නම් හේ ‍මගේ ළග ම සගයා වේ කියලා.


චේ ගේ ළගම සගයා වෙන්න දූ පෙරැම් පිරැවා.ආදරණීය සිහින දැවටුන පෙම් පිටු අතර සමීප යෙහෙළියන් සැගවෙද්දී දූ කියෙව්වේ තාත්තා දුන්න වානේ පන්නරය ලැබු හැටි , හඩනු මැන නිදහස , ඉතිහාසය මා නිදොස් කරාවි වගේ පොත්පත්. වෙනසක් හැම වෙලේම අපේක්ෂා කළා.එතරම් මහන්සි නොවුණත් පළවෙනි පාරම විශ්ව විද්‍යාලයට තේරෙද්දී තාත්තා ගොඩක් සතුටු වුණා.එක දෙයයි කීවේ.මේ ජීවිතේ රට වෙනුවෙන්.වෙනසක් ඕන.

මේ හැම පටලැවිල්ල අස්සේ ම මේ දූ ගෙයි තාත්තා ගෙයි සම්බන්දේ ශූන්‍ය වෙලාම ගියා කෙටි කාලෙකින් ම.ජීවිත වලට ගොඩක් අතුරැ මාර්ග එකතු වුණා.ජීවිත කතාව ගොඩක් වෙනස් විදිහ ට ලියවුණා.මේ කතාව මටත් නීරසයි වගේ.ඉතින් තවත් මොකට ද?

සබරගමු සරසවිය විදින්න ට.........

Wednesday, March 10, 2010

පිස්සාගේ ලෝකය: How Can I Not Love You?

පිස්සාගේ ලෝකය: How Can I Not Love You?මම මේ lab එකේ පාඩම් කරන ගමන්.අහිමි වීම හිතේ ඇති කරන වේදනාව වචන වලින් සුවපත් කරන්න බෑ කියල දන්නේ ඒ වේදනාව දන්න නිසා.ඒත් තේරැම් ගත්ත ඕන හිමිවීම ඇතුලේ තියෙන්නෙත් අහිමි වීමම තමා.අපි හැමෝම කැමති වගකීමෙන් ජීවිතේ ගත කරන්න.ඒත් අපි නොහිතන තැන් වලට ජීවිතේ අපිව ගෙනියනවා.ඉතින් ඒ හැම වෙනස් වීමක් ම දරාගන්නවා ඇරෙන්න මොනවා කරන්න ද?

Thursday, March 4, 2010

හිත පාරපු උණුසුම් ම කදුළ ක්........

වැහි කිරිල්ලී කාගෙවත් හිත රිදෙන දේ කරනවා බොහොම අඩුයි.ඒත් හොස්ටල් වල එකට කට්ටියත් එක්ක ඉද්දි විහිලු තහලු නොකරම ඉන්නෙත් නෑ.ඉතින් හොස්ටල් එකේ මගේ ඇද කෙළින් ම ඉන්නෙ පොඩි කාලේ ඉදලම මාත් එක්ක ජීවිතේ බෙදා ගත්ත යාළුවෙක්.විවේකය බොහොම අඩු අපේ ජීවිතේ ලැබුන පුංචි විවේකයකදී අර යාළුවා පහුගිය දවසක මාත් එක්ක තනි වුණා.අනිත් කාමර සගයෝ දෙන්නම එදා හිටියේ නෑ.මේ කියන යාලුවා කලු ම කලු ටෙඩි බෙයා කෙනෙක් තුරැලු කරගෙන ඉන්නවා මම මේ කැම්පස් ආව දවසේ ඉදන් දැකලා තියෙනවා.ඇත්තම කියනවා නම් මේ ටෙඩී හුරතල් කරන්න හිතෙන තරම් ලස්සන කෙනෙක් නෙවේ.ඉතින් කාලෙක ඉදන් මට විහිලුවක් කරන්න හිතෙන කොට මේ යාලුවා මගේ සරදමට ලක් වෙනවා එයාගේ ටෙඩී නිසා.එදත් එහෙමයි.මෙයා ඒ ටෙඩී ව බොහොම ආදරෙන් තුරැලු කරගෙන හිටියා.මම විහිලු කළා.ටික වෙලාවකින් මෙයා මට කීවා " එහෙම විහිලු කරන්න එපා.මේ ටෙඩී මට ගොඩක් වටිනවා" කියලා.කෙනෙක් ගේ ජීවිතේ විනිවිදින්න තියන කුහුල වැහිකිරිල්ලී නිහඩ කරද්දී එයා කතා කළා."මේ මට අම්මා ඉස්සරල ම ගෙනත් දුන්න සෙල්ලම් බඩුව.දන්නව ද එදා මම කොච්චර සතුටු වුණා ද? කියලා.කවුරැ කොහොම දැක්කත් මට මේක ගොඩක් වටිනවා."
                     මේ වචන පේළි වලට වැහිකිරිල්ලී උත්තර දු‍න‍්නේ ඇස් අගට ඉනුව කදුළකින්.මේ යාලුවගේ තාත්තා නෑ.ඉන්නේ අම්මා විතරයි.ඉල්ලපු ගොඩක් දේ අරන් මෙයාව සතුටු කරන්න අම්මට හැකියාවක් නොතිබුණු විත්තිය කලින්ම මාත් එක්ක කියලා තිබුණා.වැහිකිරිල්ලි ට හිතුණේ අඩල අඩල මේක ලැබුණ දවසේ මේ පොඩි එකා කොච්චර සතුටු වෙන්න ඇත්ද? ජීවිතේ අවම අවශ්‍යතා විතරක් එක්ක ජීවත් වෙලා ලැබුණ ඉඩ හසරෙන් මේක අරන් දීපු අම්මා කොච්චර සතුටු වෙන්න ඇද්ද?බාහිරින් බලන කොට ඇස් දෙකට අසු වෙන පටු වර්ණාවලියට ඔබ්බෙන් තියෙන සංකීර්ණ ජීවිතේ කොයි තරම් සංවේදී ද කියලා.හවස තනිවුණ මොහොතක වැහිකිරිල්ලී මේ කලුවට කැතට ඇස් වලට අහුවුණ ටෙඩී බෙයාව තුරැලු කරගත්තා.එයාගේ රස්නේ කෙනෙක් ගේ ජීවිතේ සංවේදී ම ඉසව්වක් අපූරැවට කියාපෑවා.

Monday, March 1, 2010

ඉපල් නොවන මතක ඉම..........

බොහෝ දුර ඇවිද ගිය
බොහෝ දේ කතා කල
අපේ සිහින සගවාගත්
මාවතේ මා තනිව අද..

ඉදින් ඔබ නික්මුණේ ය..
ම හද ආරාණ්‍යයෙන්
නමුදු මා හද රැවා ගත්
ඉමිහිරිම මතක පොද
කදුළකට ඉපල් කළ හැකි ද කිව මැන..

Friday, February 26, 2010

ස.මී.ප.තා.ව

දිය බිදක් පිරි තණ පතක් මහ පොළොවට සමීප වන්නේ යම් සේද මා එතරම් ඔබ ට සමීප ය............

Thursday, February 25, 2010

නි.ක්.මී.ම..................


මියෙමින් රැකීමට ඔබෙ පණනල කළ ප.රි.ත්‍යා.ග.යෙ.න්  නෙළුමක් වී අසල කළ පි.දු.මෙ.න්  ප්‍රමෝදයට පත් ව කළ න.ම.ස්.කා.ර.යෙ.න්  අනතුරැ ව  කළ නි.ක්.මී.ම


මම දෙනෙත් පියන් හැර බලමි
ඔබෙ රැව මොහොතකටවත් මගෙ දෙනෙතින් නික්ම නොයන්නෙ ඇයි ?
රැය දහවල දහවල රැය පැය මිනිත්තු තත්පර ගෙවී යයි.
ඔබ මගෙ මතකයෙන් ඉක්ම නොයන්නෙ ඇයි ?
එක් කලක දී අපි හැම විටම එකටම සිටියා
දැන්........
ඔබ කොහේ ද ? මා කොහේ ද ?
ජීවිතය කොහේ ද ?
ජීවිත ගමන පුරාවට ඔබෙ සෙවණැලි වැටී මැකී නොයන්නෙ ඇයි ?
මේ නිහඩ බව තුළ තවදුරටත් නිහඩ බවක් නෑ
ඕනෑකම තිබුනත් ඔබ හා දොඩන්නට ඊට ඉඩක් නෑ
මන්ද ඔබ බොහෝදුර ගිහින් මා හැර........


මම දෙනෙත් පියන් වසමි
මගෙ සිහිනයන් තුළ පවා ඔබ සැරිසරන්නෙ මන් ද ?
මගෙ ජීවිතයට කඩා වැද මගෙ සිහිනයන් පවා මට නැති කළේ මන් ද ?
දැන් ඔබ දුන් සිහිනයෙහි මා නිරතුරැ ව අවදියෙන්
මතකයන් අමතක නොවේ
යළිත්..යළි යළිත්
හදවතේ සැරිසරා ඔබෙ රැව සොයයි
ඉනිදු නොනැවති..පියවර හඩක් ඇසෙන විට
ඔබ ආවදෝ විමසා මා පෙලයි
හමායන සුළං රොදක ඔබෙ සුවද දැව ටී විත්
මගෙ සුසුම් සුවදවත් කළා
වේදනාව ගැන මා කෙළෙස කියන්න ද ?
අනේ හැකිනම් තව එකම එක සැරයක් විත්
සිනහව කදුළු රැදී මගෙ හදවතේ සැරිසරන
ඔබේ මතකය රැගෙන යන්න
මා සන්තක ව ඇති මගෙ ජීවිතය
රැගෙන යන්න........

Wednesday, February 24, 2010

ප.රි.ව.ර්.ත.න.ය.............

you fill up my senses
like a night in a forest
like the mountains in spring time
like a walk in a the rain
like a sleepy blue ocean
you fill up my senses ;
come fill me again........

come let me love you
let me give my life to you
let me drown in your laughter
let me die in your arms
let me lay down beside you
let me always be with you
come let me love you
come love me again.........




සිරැරෙ සෑම ජීව අංශුවකට ම මට ඔබ ව හැගෙනවා....
හරියට වනාන්තරයක ගත කරන රාත්‍රියක් වගෙ හුදකලා මිහිරක්....
හරියට වසන්ත කාලයක මීදුමෙන් වෙලාගත්ත කදුයායක සිටිනවා වගේ ප්‍රබෝදමත් ස්පර්ශයක්....
හීන් පොද වැහි බිදු වැටෙන මන්දාරම් වැස්සක පියමැනීමක් වගෙ අසිරිමත් හැගීමක්....
වියළි කර්කශ වුන කාන්තාරයක හමායන සීන් සීතල මුහුවෙච්ච තද සුළගක් වගේ සුවදායක හැගීමක්....
නිල් පාට මහා සාගරයේ නිදා ගැනීමක් වගේ චමත්කාර සුවයක්....
මෙ ඇත්තමයි..මට ඔබ ව දැනෙනවා.....
එන්න ආයෙමත් ඇවිත් මාව ජීවත් කරන්න....


බිදක් මට ඉඩදෙන්න ඔබට ආදරය කරන්න....
හැකිනම් මගේ ජීවිතය ම ඔබට දෙන්නට මට ඉඩ දෙන්න....
ඔබේ සිනාවේ කිමිදෙන්න ට මට ඉඩදෙන්න....
ඔබේ දෙඅත් මත මියැදෙන්නට මට ඉඩදෙන්න....
ඔබට කිට්ටු ව වැතීරී ඔබව විදගන්නට මට ඉඩදෙන්න....
හැමවෙලේ ම ඔබ සමගම මේ ජීවිතය දියකර හරින්න ට මට ඉඩදෙන්න....

ඔබ ට ආදරය කරන්න ට මදක් මට ඉඩදෙන්න....
ආයෙත් ඇවිත් මට ආදරය කරන්න....

Tuesday, February 23, 2010

නෙත් මානයට සොදුරැ ව හසු වූ හග්ගල.....................

 
හග්ගල දී දුටු අහිංසක සුවයක්..................

න.ම.ස්.කා.ර.ය

පොඩිම දේටත් හිත රිද ව ගෙන
රිදුණු සිත හෙමි හෙමින් පිරිමැද
ජීවිතය මත සතුට අතුරන
හිමි සදුනි මට.... මහමෙරයි ඔබ..

නුඹ ගැබර මැද එළිය විහිදන
දහස් ගණනක් තරැ රටා මැද
එළිය දුන් මහ අදුර දුරැ කර
සකි සදුනි මට....සරා සද ඔබ..

සොයා මංපෙත් නොදැක දිවිමග
කතර නොම දැන රිදුම් දෙන සද
සිතට සැනසුම සෙවණ සලසන
හිමි සදුනි මට....නුගරැකකි ඔබ..

Saturday, February 20, 2010

සබරගමු කැටබිත.........

ගෑ හුණු දිය ව ගිය කළ විරිත්තන

පිළිබිඹු යථාර්ථය කුරැටු ගෑ
හද බිත්හි ආත්මාවලෝකනය,
                           ................සබරගමු කැටබිත................
මෙසේ පවසයි........

"වසුරැ පිඩක් වුව මසුරන් යැයි තලු මරන කෙළි තොල්ලන් කරනම් ගසන සමාජය සුජාත සරස්වතිය අභිසරැලියකට අන්දමින් සිටී.එහෙත් ඕ අංගවිකල කිරි සප්පයන් නොවැදුවා ය.ඇති පදමට පදම් වී තෙම්පරාදු වී සින්නක්කර දුක කරපින්නාගෙන නිවැරදි මගකට බට ඔවූහූ ලාබ , බාල , ලෝකෝත්තර ලෝකයෙන් පන්සල් බිමකට පය තබමින් සිටිති .එහෙව් පුනරාගමනයකදී හමුවන තොත්ත බබාලා ට කයියෙක් හෝ ගෝනී බිල්ලෙක් නොවී බබා වචනයෙන් ම හාදකම් පෑවේ මේ කලියුගය බැවින් මය. එහෙව් යුගයක වෙසෙන සද සිතට තනිකම දුක , තැවුල , වැඩි ඈතක නොවුණි . ඉන් විඩාපත් ඔවුහු ඒවා අපූර්ව ආකෘතීන් යොදා අකුරැ කරන්නට වූහ .කාලයා එයට "සරසවි කුරැටු ගී"යැයි නම් තැබීය .හුදෙක් එහි වන සෑම පද්‍යයකම නොව අකුරැ කළ සියල් කදුළකම , සුසුමකම , හසරැල්ලකම පවා වන්නේ මහමෙරක මනුෂ්‍යත්වය ගැබ් වූ කතාන්දරයයි . "

පසුගිය දා සබරගමු විශ්ව විද්‍යාල භූමියේ දී කලඑළි දැක් වූ කළමනාකරන අධ්‍යයන පීඨයේ රැවන් ජයසිංහ ගේ සබරගමු කැටබිත සරසවි කුරැටු ගීයට එසේ නිවදන් සපයන්නේ ය .බාහිර සමාජයට නිරාවරණය නොවූ බිහිදොර අභිමුව විලාප දෙන සිතුවිලි වල දෝංකාරය යථාර්ථවාදී විශ්වයට වර්තනය උදෙසා සබරගමු කැටබිතෙන් බිදක් මෙසේ වැහි කිරිල්ලිය මත සටහන් කළෙමි .මේ තුළ ඇත්තේ දුක , කදුළ , සුසුම , ආදරය , හසරැල්ල , හාස්‍යය ද මුසු වූ මිනිස් ජීවිතයන් හී පණ ගැහෙන ජීව අංශු බව කිව යුතු මනාම ය.සසැදීම , විචාරය , විවේචනය ඔබ සතු අයිතිය වන්නේ ය.ඔබ මේ සංස්පර්ශ කරන්නේ සබරගමු සරසවියෙ බිත්ති , ඩෙස් පුටු , ලී කුටි මත ලියවුණ අපගේ , පෙර මෙහි විසූ ඔවුන් ගේ ජීවිත කතාව යි.

01.කදුළ ඉකි ලා
     තෙමී අස්වනු
     පුරන් වූ වග
     කාට කියමි ද?

02.හැන්දෑවේ වලාපෙළ ඇවිදින්
     ඉර අහසෙ හැංගුව ම
     සියපතක් මියැදෙන්නේ කොහොමද
     ඔය හැටිම සන්සුන්ව
     හීන් සුළගක් ඇවිත් සීතල ට
     මල් පෙතිත් රිදවද්දී සීරැවට
     නටුවකට හිමිවුනේ කොයිබින්ද ඉවසිල්ලක්
     මේ හැටිම සියපතක් නටුවක් සේම
     සන්සුන්ව දුක දරාගත්තා ට
     ගෙවන්නෙ කෝම මේ ජීවිතය.....................

03.ශිෂ්‍ය . හෙට ගෙදර යනවා
     බලේ අණ . බෑ හෙට කැටයක් තියනවා
     ශිෂ්‍ය . අනිද්දා යනවා
     බලේ අණ . අනිද්දා පිකට් එකක්නෙ
     ශිෂ්‍ය . ලබන සිකුරාදා ගිහින් සතියක් ඉන්නවා
     බලේ අණ . එහෙම කොහොමද -?කලා උළෙල කරන්නෙ අපිද?

04.රජකම ගන්නට රජ ගෙදරට ගියයි සිතූ
     අම්මා දනී නම් මේ සරසවියෙ තතු
     ගෙන ගොස් බොහෝ ‍කල් මේ දුක් විදින පුතූ

05.උන්......
     කැට හොල්ලලා
     පිකට් කරල
     අපෙ ලෝකේ ගෙනාවදෙන්
     එතකන් අපි
     ලෙක්චර් යමු.
                           - කුහක ආත්මාර්ථකාමියා -

06.අව්ව සැරද ? නෑ එළියයි......

07.නිතර සිනාසෙන යුවතියට..........
     බර නැද්ද
     නුඹට ඔය
     වෙස් මුහුණ...

08.හිතුවෙ ලස්සන දවසක්
     ඒත්
     ඔයා ඔතන අල
     මම මෙතන මල

09.හිරිකටු ඔයට පෙම් බැදි
     හා ගල ද මා ලෙසින් තනි වී
     සිටිනවා ඈතක ට වී බලා
     දයාවියෙ ගොළු කරන් සෙනෙහස............

10.පාළු සීතල ගොම්මනේ
     දොරක් ළග කළුවර වුණත්
     ගෙට අරන් එයි මුදු සහන් පත්
     ගල ගාන රෑ සදේ රැස් හෙට
     මල් පිපුණු රග නොදැන රැව විද
     පයින් පර මල් පළු කරන් අද
     පියලි පියලෙන් බිදින ඉක්ම
     තැනිය හැකි නොවේ තව මලක් හෙට................

Thursday, February 18, 2010

වැහි කිරිල්ලි........

කුරැලු ලෝකෙ වැහි කිරිල්ලී ගැන කියවෙන්නෙ බොහොම අඩුවෙන්.blog එකට නමක් හිතද්දි මේ නම මතකයට ආවේ අහම්බෙන්.අවුරැදු 21ක් ජීවත් වුනාට වැහි කිරිල්ලි ගැන දැන ගත්තේ ඊයේ පෙරේදා.වැහි කිරිල්ලි බොහොම ආඩම්බරයි ලු.අනික් කුරැල්ලෝ තිබහක් ආවහම දිය කඩිති ,මඩ කඩිති වලින් පිපාසාව නිවා ගත්තට වැහි කිරිල්ලි එහෙම නෑලු.අහසින් දිය පොදක් වැටෙන කල්ම බලාගෙන ඉන්නවා පිපාසාව සන්සිදුව ගන්න.මේ හැම දෙයක්ම මට කීවෙ ජීවිතේ මට හමු වුණ අපුරැ මිනිසෙක්.ජීවිතේ නොමි‍යෙන ලෙසට තැන්පත් වුණ එ කතාව නිසයි blog එක ලෝකේ දාහක් වචන අතරින් වැහි කිරිල්ලි වුණේ.වැහි කිරිල්ලී හා මම එක්ක බැදුණ තව අතුරැ කතා තිබ්බත් වැහි කිරිල්ලී ව තේරැම් ගන්න මම ඉඩ හරිනවා.කවදාහරි නිදහස් මොහොතක මේ පද අතරේ හැංගුන කතාව තේරැම් ගන්න.


වැහි කිරිල්ලි........
අහස රිදවා කදුළු ඉල්ලා
කෑ ගසා හඩනා
දුර අහසේ සැරිසරනා
සසල කර සිත නැගෙන දුක් ගී
හඩ හඩා ගයනා
ඔබයි මා සිත අහසේ රදනා
වැහි කිරිල්ලී........

මොහොතක ට හෝ අවසානයේ
පිපෙනු දුටුවෙමි
සෙනෙහසේ
අසෙනිය මල්........
කෙසේ නම් මා ඔබ රකින්න ද
ලියු කවිකම් නෙතු බරද මේතරම්........

උදා නොවුවද වස්සානයේ
පිපෙනු දුටුවෙමි
සෙනෙහසේ
අසෙනිය මල්........
කෙසේ නම් මා නොවිද යන්න ද
සුවද මල් නම්
සිත වසග වෙනවා නම්........

පද ඉන්ද්‍රසිරි සුරවීරගේ......                                               

ගෙවුන දිනක් ගැන මතකයක්........

පසුගිය දා අපේ අය ආදරවන්තයන්ගෙ දිනය සැමරැවා.සුපුරැදු විදිහට ම ආදරය එක දිනකට විතරක් සීමා කරන්න පුලුහන් ද කියන කතිකාවත් මේ සතිය පුරාවට ම අසන්නට දකින්නට ලැබුනා.මොන කතා කොයි විදිහට කළත් ආදරය ආදරයම යි.ආදරය කියන්නේ ජීවිතයේ ආත්මීය බව සංවේදී ව සංස්පර්ශ කරන පුදූමාකාර සිතිවිල්ලක් බව නම් අවිවාදිතයි.ආදරේ නමින් අවුල් වෙන ජීවිත දකින ඇසෙන අනු සංස්කෘතියක ජීවත් වෙන මට නම් හැගෙන්නෙ ආදරේ පුදූමාකාර සංයමයකින් සහ ඉවසීමකින් සිදු කළ යුතු කැප කිරිමක් ලෙසට බව නොකියා ම බැරි ය.කෙසේ මුත් පසුගිය 2010.02.14දා නර්මදා තරංගි මාතරගේ නමින් ඉරිදා ලක්බිමේ පිටු අතර සැගවිලා තිබ්බ මේ කවි පදයන් හි පිළි රෑ ඔබගේ මගේ යැයි හැගෙන තරම් සමීප බවකින් එය ගෙත්තම් කරල තිබ්බා.


මේ මහා නුඹ ගැබර මැද
පෑයු රන් තාරකාවක් ලෙස
දුකදූලු පිරැණ මගේ හදවත ට
නුඹ පෑයුවේ හරි අපුරැවට........

ඔය දෙනෙත් අද්දර දැහැන්ගත
මසිත ඇහැරැනෙ හෙමි හෙමිහිට
සෙත් කවක් වැනි හදවතේ මැද
මා නමින් මැදුරැ තැනුනිද පුදුමයි මට........

ජීවිතෙ බොහෝ දුර ගෙවා පැමිණුන
තනි මගෙ රිදුම් බොහොමයි නොපෙනෙන
මගෙ හද හා සම සමව යන්නට
නුඹ නිමැවුනේ කෝමැයි පුදුමයි තවම මට.........

අතැර දා මහ පාර අද්දරින් හැරී බොහෝ දුර
යන්නෙපා තනිවෙවි අදුරේ මගෙ හිත
රන් ඔටුනු නැතත් කම් නැතිද පළදන්න
හිත පිරැන සෙනෙහස විදින්නට ඉඩදෙන්න........

Tuesday, February 16, 2010

සරසවිය..........

සරසවිය මියුරැ සිහිනයක්.ජීවිතය, ඉගෙනුම ,ආදරය එකට මුසු වෙලා ගලා ගෙන යන සරසවි ජීවිතයේ වීන්දනීය සීමාවන් සංස්පර්ශ කළ හැකි හොදම මාර්ගයක් වන්නේ සරසවි කුරැටු ගීතයි.සබරගමුව සරසවියේ කියවීම් ශාලාවෙන් (රීඩිම) අහුලාගත් ජීවිත අත්දැකීම් හි රසයයි මේ.
සරසවියට එන්න මට ලැබුනා      සවිය
මම හිතුවා එකයි මගෙ ජීවිතෙ      අවිය
නිමා වෙද්දි වසර තුනක ජීවිත   කෙළිය                                   
ගන්න සිද්ධ වෙනවා දෑතට            අවිය

ජීවිතේ මගෙ නොවෙයි

එය අද නුඹේ වෙලා........
අතීතෙත් මගෙ නෙවෙයි
එය නුඹ අරන් ගියා........
හෙට දිනත් මගෙ නෙවෙයි
නුඹ නමින් කැප වෙලා........
ඉතින් මගෙ ආත්මෙ ම
නුඹ නමින් ලියවෙලා........ (අනුපමා 28.09.2007)

සද රොටිය

හිරැ ලිපේ දා
පුලුස්සා
කන්නද අම්මෙ
මම....
බඩගින්නට                   

Monday, February 8, 2010

හග්ගල කදු අතර........


පි.දු.ම

මගෙ වෙහෙර ඔබ..........
සුපුල් නෙළුමක් ව
පිපෙන්නට හැකි ය මට
අබියසින් ඔබ..........


මගෙ නෙළුම ඔබ..........
සිහිල් දිය පහරක් ව
රකින්නට හැකි ය මට
චණ්ඩ සැඩ රළින් ඔබ..........

මගෙ නදිය ඔබ..........
මුරැගසන් වරැසාවක් ව
පුරවන්න හැකි ය මට
ආදරෙන් ඔබ..........


මගෙ දිවිය ඔබ.......... 
නවතන්න හැකි ය මට
ගැහෙන හද ගැස්ම මතු
නමින් අප ආදරය.........