වැහි කිරිල්ලී

Wednesday, January 15, 2014

හිතෙත් දී.....ඔහේ කුරැටු ගෑවා .......



සතර අතින් එන සහසක් මිනිසුන් ගේ නවාතැනක් වෙන කුරැණෑගල අද දරාගන්න බැරි තරම ට ම පාලු වෙලා. ඉදල හිටල කොණකින් මතු වෙන මිනිස් රෑපයක් ඇරෙන්න අද නගරයේ තනි රකින්න කවුරැත් ම නෑ. පෝය දවසෙත් වරැවක් ශ්‍රමය වැය කරන්න වුණ නිසා මම හුදකලාව පාලුවට ගිය කාර්යාලයේ අසුනක  ට බරවෙලා ඔහේ ඈත බලාගෙන උන්නා. මේ වර්ෂය ඇරඹු මුල් දින පටන් ම මගේ ජීවිතේ හරි ම සංකීර්ණ වෙලා. මම ආස කරන සරළ කම මගේ නිදහස මගෙන් දුරස් වෙලා දුර ගමනක් ගිහින්. මේ හැමදේම ගැන නිස්කාන්සුවේ හිතන්න කියලා අසුනක ට බර වුණත් කාලයේ න් ගොඩක් දුර ඒත් මතකයෙන් අද ඊයේ වගේ වුණ අපූරැ නිමේශයක් මගේ හදවතට ආවා. මීට අවුරැදු දෙක තුනක ට කලින් දිනෙක හැමදාම පුරැද්ද ට වගේ දේශන වල ට යන්න පරක්කු වෙන මමත් මගේ යෙහෙළියත් කඩි මුඩියේ අවසාන නිමේෂයේ දේශන ශාලාවට දුවන්න පටන් ගත්තා. අපි අපේ දේශන ශාලාවට යන්නේ කළමනාකරණ පීඨය පසු කරමින්. එදා මේ කළමනාකරණ පීඨය අසළ දැවැන්ත පුවරැවක දැක්වුණේ හවස් යාමයේ ප්‍රකට දේශක රත්න ශ්‍රී විජේසිංහයන් ගේ දේශනයක් විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බවයි. කවදාවත් නැතුව ව්‍යාපාර ඇසින් සියල්ල දකින මගේ යෙහෙළියත් මමත් එකම මතයකට ආවේ අප මෙම දේශනයට යා යුතු බවයි. ඉතින් අපි ගියා. රත්න ශ්‍රී මහතාගේ දේශනයත් හරිම අපූරැවට කෙරීගෙන යනවා. රත්න ශ්‍රී මහතා විචරය ට බදුන් කළ එක් ගීතයක් වූයේ අසංක ප්‍රියමන්ත ගායන ශිල්පියාගේ මගේ දරැ පැටවු ගීතයයි. පෞද්ගලික ව මම මනාප නොවුණත් ගීතය අග සිට මුල ට අසා තිබුණා. මෙම ගීතයේ අවසන් පද පේළි වුයේ හඩන සිත නිවන මල් පැණි නැතිව බැරි හැඩයි යන්නයි. රත්න ශ්‍රී කවියාගේ තර්කය වූයේ දරැවන් වෙනුවෙන් අපමණ ට වෙහෙසී දරැ සෙනෙහස උකස ට තබා සත් සමුදුරැ එතෙර හදවති න් හඩමින් දිවා රෑ වෙහෙසී කදුලු දරනා අම්මලා ට මෙ පද පේළි මේ ගීත සාහිත්‍ය අසාධාරණයක් කරනා බවයි. ඇය දහසක් දුක් දරද්දී ශාරීරිකව ඇය නැති සොවින් වෙනත් මල් සොයා පැණි සොයන පුරැෂයන් සාධාරණී කරනය කීරීමක් මේ පද පේළි හරහා වන බවත් කියමින් රත්න ශ්‍රී මෙම ගීතය නිර්දය විචාරය ට ලක් කළා. මම එදා ඔහු ගේ විචාර ය අසමින් ආළෝලනය වූවා. මේ ගීතය කොතරම් ආසාධාරණ දැයි සිතද්දී මට නිතැනින් ම මේ ගීතයේ පද රචකයා ගායකයා ගැන පහළ වුයේ සිහින් කළකිරීමක්. නොපහන් හැගීමක්.
     

අද හීනීයට වැහි පොද වැටෙන පාලුවට ගිය කුරැණෑගල නගරය ට නෙත් යොමා සිතුවිලි වල පැටලී ගිය මට අතපසු ව ගිය යමක් සිහි වූවා. කලාව යනු කුමක් ද? ඇයි අපි ගම් පෙරළිය, යුගාන්තය මහා ඉහළින් වර්ණනා කරන්නේ. අපි උසස් පෙළ සමයේ දත් හපා ගෙන විචාර ලියූ වේ නම් මෙම නවකතා යථාර්තවාදි ව පවත්නා තතු ඒ අයුරින් කලාත්මක ස්වරයකින් සහෟදයා වෙත ළන් කරවා යැයි. මම මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරැදු දා හදවතින් සිප ගත්තේ සංකීර්ණ මිනිස් සිතුවිලි යථාර්තවාදී ව විනිවිදි න නිසාවෙනි. එසේ නම් අසංක ප්‍රියමන්ත ගයන මේ ගීතය මා බැහැර කළේ කෙසේද? ගැහැණිය කෙතරම් නිවැරදි වුව ද ඇය අසාධාරණය ට ලක් වූව ද ලාංකීය සමාජයේ යාථාර්තය නෙවේද අසංක ගයන්නේ. එතෙර ට ඉසුරැ සොයා ඇදෙන කුටුම්භ වල සැබෑ ඛෙදවාචකය මෙය නොවන්නේ ද? ක්‍රියාවලිය කෙතරම් ආසාධාරණ වුව ද මිනිස් සිතුම් විස්තර කරන්න බැරි තරම් සංකීර්ණ යි. ජීවිත තරාදියේ අග හිග කම් තැටිය බැදීම් තැටිය ට වඩා බර වෙද්දී බැදීම් රැක ගන්න මවු වරැන් එතෙර ඇදෙනවා. තත්පර මිනිත්තු වෙද්දී පැය දින වල ට හැරෙද්දී සති මාස, මාස අවුරැදු වෙද්දී බැදීම් වල රස්නෙත් දුරස් වෙනවා. මානසික ප්‍රේමය කිසිදා මිලින නොවන්න ක් යැයි මා බැතිබර ව ඇදහු ව ද තර්කය කුමක් වුවද සැබෑව නම් මිනිසුන් තමන් ගේ ජීවිත වල හිස්තැන් පුරව ගන්න අසංක කියන විදිහ ට ම කියනවා නම් හඩන සිත නිවන්න මල් පැණි සොයා ඇදෙනවා. යාථාර්තය මේ පද පේළි වලටත් වඩා දරැණු යි. මව් නැති කුටුම්භයේ පියා දියණිය යන ලේ බැදීම් සුණු විසුණු වුන සමාජයක දෙපා තබන අපි, මම එදා අසංක ප්‍රියමන්ත නිර්දය විවේචනය ට ලක් කළා. ඒත් අද මම ඔහු වෙනුවෙන් පෙනි සිටිමි. ඔහු ගැයුවේ යථාර්තයෙන් එක් බිදක් පමණ යැයි මට දැනේ. ඇත්ත අමරදේව ගැයු වද අසංක ප්‍රියමන්ත ගැයුවද වෙනස් නොවන්නකි. පිට රටට මෙහෙය කිරීමට ඇදෙන මව් අසුන හිස් වූ පවුලේ පුරැෂයා ට දැනෙන අව්‍යාජ සිතුම් දහරාවක් සේ මෙම ගීතය මම අද දකිමි. එදා රත්න ශ්‍රී ගේ දේශනය මැද දී දෑත් ඔසවා මෙය යාථාර්තවාදී නොවන්නේදැයි නොඇසීම ගැන මම අද තැවෙමි.

Wednesday, December 4, 2013

මම .............. ?



එක් වරම මා තුළ මා නොමැති බව මට දැණුණි. මම නැවති යළිත් හැරී බැලුවෙමි. සත්තයි මා තුළ මා නොමැත. මගේ අනන්‍යතාවය මුලු මනින් ම නැතිව ගොස් මට මා අහිමිව ඇති බව මට දැණුනි.දැනෙන්නට කණේ පහරක් ගසා ගෙන මා ජීවතුන් අතරදැයි මනින්නට මට එක් වරම සිතුණි. යළිත් මා වටා මා ගැන ම උපන් ආත්මානුකම්පාවක් වෙළා ගන්නා ලදී. මම සිතුවෙමි. මම සිනාසුණෙ මි. සිත සිනිදු වට අත ගාන්නට නොරිද්දන්න ට වග බලා ගෙන පහදා දුන්නෙමි. මට මා ම ආත්ම වංචා කර රවටා දැමුවෙමි. ඉතින් මා නීතියේ සරණ පතන් නද? මා මාව ම රැවටුවා යැයි. මහා හඩා වැටීමක් තෙත නොදැනෙන කදුලු ගංගාවක් ගලනු ම‍ට දැණින. ආත්මය ප්ලාස්ටික් වූයේ මගේ ම සිතුවිලි මා හැර දා ගියේ කවදාදැයි දින වකවානු අමතක වන තරම ට ම දුර බව මට දැණුනි. ඔව් ඇත්ත තවත් මම තර්ක නොකරමි. තව දුරටත් මම මම නොවේ. මම සසල වෙළා.මම හෙල්ලිලා.


Sunday, July 14, 2013

ආයෙමත් මම.....

කාලේකට පස්සේ මූණූ පොතෙන් යාලුවෙක් ට සිංහලෙන් කොමෙන්ටුවක් දාන්න ගියාමයි දැනුනේ ජිවිතේ මම කොච්‍චර දේවල් මග ඇරල ද කියලා..සිංහලෙන් යතුරැ පුවරැව හසුරවගන්න බැරි තරම් මම වැහි කිරිල්ලි ට ලියන එක මග ඇරලා..

ඉතින් එක පාරටම ආයෙත් ක්ෂණික සිතුවිල්ලක් ආවා මේ පැත්ත ට ගොඩවදින්න..කාලේකට කලින් කියෙව්ව රොබට් ෆොක්ස් කියන ඉංග්‍රිසි කවියගේ කවි පද කිහිපයක් මගේ මතකයට ආවා..මේ පද පේළි ටිකේ අර්ථය වුණේ වගකීම් එක්ක සිරවෙන මිනිස්සු කොච්චර දුරට තමන්ගේ ජීවිතේ තමන්ගෙන් ම ඈත් කරගන්නව ද කියලා..මිනිස්සුන් ට ජීවිතේ විදින්න ඕන වුණත් ටිකක් නතර වෙලා හතිලන්න ඕන වුණත් වගකීම් පොරොන්දු එක්ක බැදුණු මිනිස් හැගීම් එක්ක ගණූදෙනු කරන මේ රටාව  ඇතුළේ ඔවුන් කොච්චර අසරණද කියලා ‍ඒ පද පේළි හරි අපූරැවට විස්තර කළා මට මතකයි..

මොනවා වුණත් ජීවිතේ මග ඇරෙන්න නොදී රැකගන්න එක තමා ලොකුම සටන මේ සංකීර්ණත්වය ඇතුළේ... මම නම් හැමදාම විශ්වාස කරන්නේ ජීවත් වෙනවා කියන්නේ හුස්ම ගන්නවට වඩා එහා ගිය දෙයක්....


Saturday, April 20, 2013

දවස අවසන ට පෙර ලියූ සටහන.....යළිත් අහම්බෙන් අපැහැදිලි ව .......


2013 වසරේ නොලියවුණු සටහනෙන් වැහි කිරිල්ලී පන්හිද ම පාලු වී ඇති හැඩයි. අහම්බ‍යෙන් රෑ 12ට කිට්ටු කරද්දි අද දවස ගෙවල ඉවර කරන්න කලින් පුංචි හිතට ආව සිතුවිල්ලක් සටහන් කරන්න ට හිතුණා.මේ ජීවිතය විටෙක හරි බරක්.විවිධ විවිධ සන්වේදනාවන් ගෙන් මෙය මම අත්විදින්න ට උත්සහ ගන්නවා ඔබ වගේම. අපි නොදැන හෝ දැන මේ දිව යන්නේ ජීවිතයේ සතුට සොයන්න ට නොවැ.

ඉතින් අපි හැම දිවයන්‍ නේ අපි ට පෙන්නු අපි හිතන සතුට නැමැති ආකෘතිය අප වටා තනා ගන්නට නො‍වේ ද?අපිට අවශ්‍ය සතුට මෙය යැයි සම්මත දේ අප‍ගේ වත්කම් කොට ගෙන අප සතුටින් කියන්න ට නොවේ ද? ‍මේ සන්කීර්ණ සමාජ වටපිටාවේ ඔබගේ මගේ සතුටේ නිර්මාණකරැවා පවා වීමට අපිට නොහැකි නොවේද? මට මේ රාමුවෙන් මිදෙන්නට ඇවැසියි.මට ‍බොහොම වෙහෙසයි.පාසලේ පළමු පන්තියට ඇතුළත් වීමටත් පෙරම මෙසේ කළොත් තමා ජීවිතේ සතුට රැදෙන්නේ යැයි මා වටා බැදි බැමි පෙරළා දමන්නට මට ඇවැසියි. මගේ ම විදිහට සතුට සොයන්න ට නිස්කාන්සුවේ සිතන්න ට ආදරේ කරන්නට ආදරේ විදින්න ට මට ඇවැසි යි. මට හැසිරෙන්නට ඇවැසි තවකෙකු නිර්මාණය කළරාමුවක් තුළ නොවේ. ඉතින් සබද ඔබට ඇවැසි නැද්ද මේ ඔබගේ ම ජීවිතයේ ඔබගේ ම හැඩතල මවන්න ට? නිදහස සැබෑ ලෙස ම විදින්න ට....

Thursday, December 13, 2012

මතකයන් හ‍දෙහි සරද්දී...... අපි ‍වෙන් ව ගත කරන 13...... ‍වෙනු‍‍වෙන්

සරා කප් සුවහස් කලක්
පුරා ‍පෙරැමන් පාරමී
‍මේ පුදුම අහස යට
ඔබ මා හමු ‍වෙන්නැති.......

සබරගමු අහස ‍මෙන්
මුරැගසන් වැසි ඇද වැටී
යළි සැණින්
සිනාමල් පූදන්නැති.....

එකට එක් වී තැබු පියවර
නැගූ හසරැල්.....තැනු ‍ලෝකය....
හ‍දෙහි රදවා...ඔබ ‍මෙ‍හෙන්
නික්‍මෙන්නැති......

දෑත් විහිදා ‍සෙවණ සදමින්
දිව් දරන මග කියා දී
සු‍වෙන් ජීවිත තනනු වස්
ඔබ ‍බො‍හෝ ‍වෙ‍හෙ‍සෙනවැති........

සකි සදුනි

‍කො‍හේ ‍‍කොතැනක දුරින් සිටියත්
එදා ‍මෙන් අද ‍හෙටද මා
‍මේ හ‍දෙහි ඔබ සුරකිමි......

Thursday, September 20, 2012

‍පො‍ළොව අහසට ලියන වග නම්......



කදුලැල්ලක්
ඔබ‍ගේ ‍‍‍නෙත් අගින්..වැ‍ටෙනතුරා
ඉරි තලා ‍ගොස්..ගිණි ගැනුනු සිත්
බලා හිදී....

කිසි දිනක
එක් ‍‍‍නොවන අප
‍වෙලුනු ආදර ක්ෂතිජ‍යේ
මතක හසරැල්
‍තෙත් කළා හද
‍හෙලු තුටු කදුලැල් දරා......

නිමා ‍නො‍වෙනා
හ‍දේ ළ‍සොවින්
ගැහැට ඉවසනු බැරි නිසා
යළි හඩා ‍නොවැ‍ටෙන්න
ඔබ
හිත හදාගත්තාද මන්දා.......

Saturday, September 15, 2012

විසුළ අහස යට..........


විශ්ව විද්‍යායලත් වහල නිසා නිශ්චිත ආස්ථානයක් නැතිව දැන් මාස ‍‍දෙකක් තිස්‍‍සේ ජීවිතේ ට ඉර පායනවා.ආපහු බැහැල යනවා.ලාංකීය ‍පොළොව මත අති බහුතරයකට තමගේ ජීවිත තිරණය කිරිමේ නිදහස අහිමි නිසා මමත් වරප්‍රසාද අහිමි වූවෙක් වෙන්න ඇතියි හිත හදා ගන්නවා.කොහොම වුනත් මම අද ටිකක් වෙනස් දෙයක් ගැන මගේ සිතුවිලි ගොනු කරන්න හිතුවා. කැම්පස් ඉන්න කොට ටෙලිවිෂනය තියන තැනට යන්න කම්මැලි කමට සන්නිවේදන සම්බන්දතා බොහෝ වෙලාවට පවත්වන්නේ පුවත්පත් එක්ක.ඉතින් ටෙලි නාට්‍යය නම් බලන්නෙම නෑ. ඉදල හිටලා ‍ගෙදර ආවහම හුදකලාවට තියන අකමැත්ත නිසාම ‍ගෙදර අය එක්ක ඒ අයට පුරැදු නාට්‍යයක් බැලුවට ඒවගෙත් බලන්න හිතන්න දෙයක් නෑ කියල මට දැනෙනවා.එකම කතාව වෙන වෙන නම් වලින් යනකොට මේවා මොකට බලනවද කියලා හැමදාම මගේ ආඩපාලි අහල අම්මලටත් ඒත පුරැදුයි.බලන්න බැරි නම් නිකන් ඉන්න කියලා එයත් මට ටිකක් සැරට උත්තර දෙන්නේ කොච්චර උස් මහත් වුනත් ගෙදර පොඩි එකාට මොකට බය වෙනවද වගේ. කොහොම වුනත් මෙහෙම වැඩක් නැතුව ගෙදරට බරක් වෙනකොට දැන් මාස දෙකක් තිස්සේ මට හරි අපූරැ නාට්‍යයක් බලන්න ලැබුණා.නමින් විසුල අහස යට.......අලුතින් පටන් ගත්ත හිරැ නාලිකාවේ රාත්‍රී 9.30ට තමා විකාශය වෙන්නේ.නිර්මාණකරැවා කැලුම් පාලිත මහීරත්න. ලොකු ගෙදරක ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය දුගී පැලට විත් ආදරය දහසක් බාධක මැද ජයගන්න සුලභ කතා වස්තුවෙන් එපිටට ගොස් යාථාර්තයට හුරැ අඛානයකින් කතා කරැවා තමන්ගේ චින්තනය මෙහෙයවනවා මෙහිදි අපූරැවට දකින්න ට පුලුහන්.සමාජයේ අපි අතරම දැවෙටෙන දකින මිනිසුන්ගේ හැගීම් දැනීම් හරි අපූරැවට මෙහි චිත්රණය වෙනවා.මේ චරිත අපිට දුර නෑ.දුර චරිත ටෙලියේ දක්නට ලැබුණත් (උදාහරණ ලෙස අනෝමා වත්තලදෙණිය මහත්මියගේ නිළිය‍ගේ චරිතය) ඒ චරිත ඔස්සේ කතා කරැවා කතා කරන්නේ ඔබට මට ‍පොදු මානුෂික කාරණා හා බැදීම් වලටයි. වර්තමාන සමාජයේ මුදලට කේවල් කරන මානුෂික බැදීම් වල වටිනාකම කතාකරැවා සන්වේදී ‍ලෙසින් හදවතට ළන් කරනවා.කතාකරැවාගේ දෘෂ්වියට රෑප රාමු එක් කරන අධ්‍යක්ෂකවරයාගේ ශක්‍යතාවය කේෂත්‍රය පිළීබද දැනීම අල්ප වුව ද මගේ සිතට දනවන්නේ පහන් හැගීමක්.ඔහු තමන්‍ ගේ හැඩතල ඔස්‍ සේ මවන වෙනස නිර්මාණයට එකතු කරන් නේ අපූරැ ආලෝකයක්. සම්භාවනාවට පත් ප්‍රකට රංගන ශිල්පීන්ගේ ප්‍රකාශන අ‍පේ හදවත ආළෝලනය කරද්දී විශිෂ්ට හැගීම් ප්‍රකාශනය යෙදෙන විසුළ අහසින් කළඑළි බසින නිලුක්ෂි අමන්දා, හිරාන් යට්ටෝවිට වැනි දුහුනන්ගේ රංග ප්‍රතිභාවයේ වර්ණය ද විසුළ අහසේ දීප්තිය විශල් කරන වග කිව යුතුමය. අපුරැ රසිකත්වයක් දනවන විසුළ අහස යට කණ්ඩායමට රසික ප්‍රනාමය.‍
මේ පුංචි පුංචි තාරකා විසුළ අහස් වියන යටමය ඔබත් මමත් හීන එකතු කරන්නේ. ඒ හීනයට පණ පොවන්න කියන්න මට ඔබට සිතුණා අවසන........

සවිඥානක ‍දේශපාලන ‍මොළ ඇවැසි ව ඇත.


වත්සුණෙන් මූණූ තවරා ගත් නිළියන් රෑපවාහිනි වැඩසටහන් වලට විත් දේශපාලනය ගැන අදහස කුමක්දැයි විමසද්දී ‍කෝළ වනු මා දැක ඇත.‍දේශපාලනය ගැන කතා කිරීම ඔවුන්ගේ හුරතල් භාවය නසා ලනු ඇතැයි ඔවුන් සිතනවා විය හැක. පුරැෂයන් පවා තමන් ළග කිසිම දේශපාලන අදහසක් නැතැයි පවසනු මට ඇසී ඇත. සවිඥානක දේශපාලන කතිකාවතක් ඔවුන් මවා ගෙන ඇති දුර්වල පිරිමි ‍පෞර්ශය බිද ‍හෙළනු ඇතැයි ඔවුන් සිතනවා විය හැක. අවිඥානක ‍මොවුන්ගේ දේශපාලන භාවිතය සමස්ත සමාජය දිනෙන් දින හෙලනු ලබන අගාධය මා සිත් හි මවන්නේ භයංකාර හැගීමකි. දෙන දෙය දෑතින් ම ගෙන කට ඇර වේදිකාවන්හි ඔවුන් ම අධ්‍යක්ෂනය කර රගපාන රංගන බලා හිදිනු ඇර සවිඥානක දේශපාලන කතිකාවතක අවශ්‍යතාවය සමාජය තුළ මතු නොවන්නේ ඇයි? ආර්ථිකමය, සමාජීය, සංස්කෘතික ජීවිතය තුළ පවා අසරණ වීමකට හුදකලා වීමකට ලක් ව ඇති ලාංකීක ජන ජීවිත යළිත් බලාපොරොත්තූන් හි දැවටෙන්නේ කවදාද? මා ළග පිළිතුරැ නැත.
පහුගිය පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කළ ආණ්ඩු දරන දේශපාලකයෙක් කියූ කතාවක් සිහියට නැගේ.ඔහු පැවසූයේ මේ ජයග්‍රහණ කියාපාන්නේ ජනතාව අපගේ ගමන් මග අනුමත කරන බවයි යන්නයි.මා කුඩා කළ කථික තරගයකට තරැණ අසහනය ගැන කතාවක් කළා යැයි සිහින් මතකයක් සිතෙහි ඇත.නමුත් බලාපොරොත්තු කඩ වීම, සමාජීය හුදකලා බව, සහෝදර ඇසුරක තෝරභාවය හරහා සත්‍ය ලෙසම අසහනය අත් විදින මගේ මානසික අවුල් භාවය හරහා මැවෙන චිත්ත විකාරදැයි ම‍ම නොදනිමි.සිහි බුද්ධිය හොදින් ඇති මේ පොළොවේ සැබෑ ලෙස පය ගහන්නෙකු ට මෙම ආණ්ඩුවේ වර්තමාන ගමන් මග අනුමත කළ හැකි ද ? මේ ලාංකික සමාජයේ අධ්‍යාපනයට සම්බන්ධ එකම දරැවෙකු හෝ සිටින කුටුම්භයක් නැතුවා වන්න ට බෑ.හෝඩියේ පන්තියේ සිට විශ්ව විද්‍යාලය දක්වා අවුල් සහගත තත්වයන් හරහා බරපතල සමාජ ඛේදවාචකයන් දිනෙන් දින මැවෙද්දී වෙනසක් මේ සමාජය අපේක්ෂා නොකරන්නේ ඇයි? පිළීතුරැ වහා වහා ඇවැසිය.මන්ද වැරදි සිදු විය යුතුය.මන්ද නිවැරදි වන්නේ ද අත්දැකීම් ලබන්නේ ද වැරදීම හරහා මය. නමුත් ඇතැම් වැරදීම් නැවත කිසි දිනෙක නිවැරදි නොවන අතර ප්‍රතිඵිල ලැ‍බෙන විට අපි බොහෝ පමා වී සිටින්නට පුලුහන.එසේ වුවහොත් ඉතිහාසය කිසි දිනෙක අපි නිදොස් නොකරනු ඇත.....................

Tuesday, September 11, 2012

කාලය කෙතරම් නපුරැද ?


මම...............
උපන්නේ, හැදුනේ වැඩුනේ
වයඹ.
ඔයා.................
සබරගමුවේ.
අපි.................
මුණ ගැහුණේ, ජීවිත පටන් ගත්තේ
හැඩුවේ, සිනාසුණේ
සබරගමුවේ.
අපි.............
ආදරෙන් ඇවිද ගියේ, මතකයන් එකතු කළේ
ඌවේ දී.
අපි..............
ජීවිතේ හොයාගෙන පියමැන්නේ
බස්නාහිර ට.
දැන්....ආයෙමත්
මම.............
වයඹ.
ඔයා..............
නැගෙනහිර.
කෝ කොහේද
අපේ ජීවිත ?



Sunday, August 19, 2012

අපැහැදිලි සිතුවිලි (අහම්බෙන්).........................


හදවතේ ජීවත් වෙන නිර්මණ ශීලි මිනිසා පණ අදින, සංවාදය වෙනුවට විසංවාදය ඉස්මතු වෙන ජීවිතේ බොහොම පීඩාකාරී යුගයකට ඵළඹ ඇතැයි සිතෙන තරමටම සිතිවිලි දුප්පත් වී ඇතැයි මම සිතනවා, මට හැගෙනවා.2007 ප්‍රථම වතාවට උසස්පෙළ ලියද්දි විශ්ව විද්්‍යාලයට යන්නට ලොකු බලාපොරොත්තු නොතිබ්බත් හදවතේ කොණක පුංචිම හරි ප්‍රර්ථනාවක් පණ නොඇද්දයි මට ආත්ම වංචාවක් කරන්න බෑ.පුරැදු පරිදි ස්වභාවධර්මයා බලලා හරි ඵ් හැටි මහන්සි නොවුණ මාව පළවැනි සැරෙන් ම කැම්පසුත් තේරැණා කියමුකෝ.ඵදා මෙදා තුර දැන් අවුරැදු 5ක් හරියටම උපාධිය ගන්න සිහිනේ ගිලිලා වෙලිලා හෙම්බත් වෙලා ඉන්නේ.ඵ් හෙම්බත් වීමම මාව මගේන් ඈත් කරලා සිතිවිලි දොරගුලු දා දැයි මට සිතේ.
විශ්ව විද්‍යාල ඇතුළේ ඉන්න සමස්ත මානව ප්‍රජාව තුළම මේ කළකිරීම, ඉඡ්චාභංගත්වය ඇතැයි මට සිතෙනවා. ඵ් විතරක් නෙවේ ආශ්චර්යයේ සිහින දකින ලාංකික වැසියාත් තුටින් මනමෝහනයට පත්ව ඇතැයි මට හැගෙන්නේ නෑ. දශක ගණනාවත් මුලුල්ලේ වෙනස් නොවුණ, වෙනස් කිරීමට වුවමනාවක් වත් දකින්නට නොලැබෙන මේ සමාජ ක්‍රමයම විවිධ වෙස් මුහුණු වලින් සැරිසරනු නිතර දෙවේලේ දක්නට ලැබුණත් නෑවිමත්, ඇද ගෙනම ඉල්ලා නා ගැනීමත් හැර වෙනස් චින්තනයක් හෙම්බත් වුණ, පීඩාවට ලක් වූ කර මුලටම සිර වූ රට වැසියාගෙන් දක්නට නොලැබීමත් ඵක්තරා සමාජීය ඛෙදවාචයක්. මුලු මහත් ලංකාද්වීපයම සමස්ත පවුලක් ලෙස පරාජය තුළ වෙළී, ගැළී ස්වභාවධර්මයාගේ පවා සරදමට ලක් ව ඇතැයි සිතෙනවා.වේදනාවෙන් හෙම්බත් වුණ හඩන දෑස්, මහ පාරේ බස් රථ තුළ, නැවැතුම්පොළවල් හි දැවෙන ජීවිත හදවතට දනවන්නේ කියාගන්න බැරි තරම් බරක්.මගේම නෑ සියන් මගේම මව් පොළොව මත ජීවිතය පිණිස කරනු ලබන අරගල හදවතත් තෙත්ව සංවේදී කරනවා.ඵ් අතරේ පෞද්ගලික ජීවිතේත් නොයෙක් හැලහැප්පීම් මැද්දේ, විවිධ සංවේදනා මැද්දේ ඉදිරියට ඇදෙනවා. ඉතින් මේ හදන්නේ මුල මැද අග පැහැදිලි නැති කතාවකට අකුරැ අමුණලා වැහි කිරිල්ලිය පාලු කළාට උත්තර බදින්න නම් නෙවේ. හැමදෙයක්ම විදිමින්, බලමින් ජීවත් වෙමින් ඉදිරියට ඇදෙන මේ ජීවන යාත්‍රාවේ දිශානතිය පොඩ්ඩක් පැහැදිලි කළා.ඵච්චරයි.කොහොම වුනත් මම නම් ඉගෙන ගත්තේ හැමදේම බිමටම සමතලා වුණත් ඵ් සුන්බුන් දිහා බලාගෙන ම සංයමයෙන් ආයෙමත් ඵ් හැමදේම ගොඩ නගන්න. හැමදේම නැතිවෙලා නැති නිසාත්,
හැමදාම උදේ ට අරැණලු ඵක්ක නව දවසක් උදා වෙන නිසාත් මමත් ඵ් උදාවෙන දවසේ ලාංකික මානවයෙක් විදිහට නැවුම් බලාපොරොත්තු වලින් හදවත පුරවා ගන්නවා.