වැහි කිරිල්ලී

Tuesday, April 19, 2011

කාලේක ට පස්සේ...............

කාලේක ට පස්සේ  ආයෙමත් සුපුරැදු නවාතැන ට ගොඩ වැදුනා. අවුරැද්දත් ගෙවිලා ගිහින්.ඒත් මගේ හිත කියනවා සුභ අලුත් අවුරැද්දක් වේවා කියලා ඔබට සුභ පතන්න.




 විශ්ව විද්‍යාලය නොහිතපු විදිහ ට අර්බුදයට ගියපු වේලාවේ  මුකුත් අකුරැ නොකර ඒ නපුරැ නිහැඩියාවට ම ඉඩ දීලා අපිත් ඔහේ බලා උන්නා.උදේ දැක්ක සහෝදරය රෑ  අනාරක්ෂිත විදුලි සැරට හසු වේලා මියෙද්දී හදවතත් අඩලා අඩලා ගල් වේලා සිතුවිලි නතර කරලා දැම්මා.ඇත්තටම අපි හිටියේ වේදනාවේන්.ගෙවිලා ගියේ සබරගමුව ට  බොහො ම නපුරැ කාලයක්.ඉතින් ඒ ඉ‍ඩෝරය නතර වේලා ආයෙමත් යහපත දලු ලන අනාගතයක් ගැන අපි හීන දකිනවා මේ අලුත් අවුරැද්දේ.......

Tuesday, February 1, 2011

හා හා පුරා.......................

පරණ අවුරැද්ද ගෙවිලා ගිහින් අලුත් අවුරුද්ද ලබලා මාසයකුත් ඉක්ම ගිහින්.පහුගිය කාල සිමාව පුරාවට ම අපි ට අලුත් වෙන්න අලුතින් සිතන්න කියලා දෙන්න ලියුව සටහන් වලින් පත්තර පොත් පිරිලා තිබ්බා.මට හැගුණේ අපි කොච්චර කියෙව්වත් අපි අලුත් වෙන්නේ නැවුම් වෙන්නේ අත්දැකීම් එක්ක කියලා.ගෙවුණ දවස් 365 ඔබගේ ජීවිතයට බොහෝ අත්දැකිම් එකතු කරන්න ඇති. ඒ අත්දැකිම් තුළින් ජිවිතය ගොඩනගා ගැනීම තමා වැදගත්.හා හා පුරා කියලා අලුත් අවුරැද්දේ කියවු පොතක මෙහෙම සටහනක් තිබුණා

 
"ආදරෙන් මිනිස්සු ඇසුරැ කරන්න අමාරැයි.අපි ව වෙනස් කරන අපි ට එකතැන ඉන්න ඉඩ නොදෙන මිනිහ ම අපි පිළිකුල් කරනවා.ආදරෙන් අපි ව වෙනස් කරන ආදරය නිසා ම අපි ට එකතැන ඉන්න ඉඩ නොදෙන ගෑණු පිරිමි ශරීරත් අපි පිළිකුල් කරනවා. අපි ව වෙනස් නොකරන අපි ට එකතැන ඉන්න ඉඩ දෙන ගෑණු මිනිස්සු ම අපි වැළ ද ගන්නවා.සමහරැ ඒකට සම්ප්‍රදාය කියලත් නියනවා.අපේ ජීවිත වල ට ආශිර්වාද කරන අයව අපි වැළ ද ගන්නවා.ආදරය නිසා අපේ ජිවිත විවේචනය කරන අයව අපි ඈත් කරන්න උත්සහ ගන්නවා.අපේ ජීවිත වලට ආශිර්වාද කරන අපිට කැමති අපි ව වෙනස් නොකරන මිනිස්සු තුළ අපි ගැන විවේචනයක් නැතු වා නොවෙයි.ඔවුන් ගේ විවේචනය කියවන තැන දි අපි නැහැ."


ගැහැණු පිරිමි ශරීරත් එක්ක අපි කරන මේ මිනිස් ගණුදෙණු ව තුළ මේ වචන කොතරම් සත්‍ය ද කියලා මට හිතුණා.මේ මගේ ජීවිතයටත් පහුගිය සමයේ එක් වූ හොද අත්දැකීමක්.ඒ අත්දැකීම මගේ ජීවිතයට ප්‍රබල කම්පනයක් එකතු කළ ත් ඒ අත්දැකීමේ හැඩයට ගළපන්න වර්ණ සොයනකොට මට මේ පොත මුණ ගැහුණා.මේ වචන ඒ අත්දැකීමට අපූරැවට වර්ණ ගළපනවා.මිනිස්සු කැමති අපි කරන මිනිස් ගණුදෙණු ව තුළ ආශිර්වාදය ට ම විතරයි බොහෝ අවස්ථා වල දී.ආදරණිය විවේචන කියවන තැන අපි නෑ.අපි ලගින් ම අසුරැ කරන අපි අපි ව හොදින් තේරැම් අරන් ඇති කියලා හිතන ඇතැම් චරිත අපි ඔවුන් වත් ඔවුන් අපිවත් තේරැම් අරන් නැහැ කියලා හිතෙන්නේ මේ ආදරණීය ව්වේචන ඔවුන් භාර ගන්න විදිය දකිනකොට.මේ හරිම සරළ කියවීමක්.හැබැයි මේ කියවීම නොදැ න කළොත් අපි ට අපේ ජීවිතේ බොහෝ සම්බන්දකම් අහිමි කරනවා.ඒ නිසා වත්මන් සමාජය ඇතුළේ අපි ගණුදෙණු කළ යුත්තේ මතුපිට විතරක් ස්පර්ශ කරමින් ද කියලා හිතෙන අවස්ථා එමටයි. ඒත් එකත් සාදාරණ නැහැ. මේ ඇත්ත වටහා ගැනීම බෝහො වැදගත්. කෙසේ නමුත් ජිවිතය බොහොම කෙටියි.ගෙවුණ ජීවිතය මතකයක් ම විතරයි.සතුටින් අත්දැකීමෙන් පරිණතව යහපත් ව ජීවිතය ගත කිරීම තමා බොහොම වැදගත්.

Thursday, September 30, 2010

Life.............

කවුරැන් හෝ දනී ද
කුමක්දැයි කියා මේ ජීවිතය.......
මෙය අසම්පූර්ණ කතාවකි.

Saturday, September 11, 2010

ඇගේ මිල

බොහෝ දුක් ගෙන අවසන
තනනු රිසි වුව මහා මන්දිර
මැනිය හැකි මිටින කුස පුරවා ගෙන
වඩති සනසති අමිල දු රැව


දෙනෙත් ලෙස සුරකින
තිනෙත් යොදමින් ඈ දෙස
නේක හැගුමන් සුසුමකින් පා කර
සතෙන් සතයට සුරකි තැනුමට ඈ ලොව


බසින දින ඈ යුවතියක වී කළ එළි
ගසති අණබෙර තුන් ලොවට දී ඉගිබිගි
දෙපා යුග යුග නමදිමින් ඈ පෙරටු කොට ගෙන එති
ගැහෙන දෑතින් ගණිති සසදති ඈ යුවතියක වූ වාසිය


ජීවිතේ දුර කටුක කම් ගෙවා අවසන
කුල මලය මිල සසදවයි අදහස් පලවා හැර
නොවිමසා ඈ සිතෙහි වූ කුලුදුල් පේමය
සාක්කිත් නොසොයාම අහවරය තීන්දුව දී ජූරිය


කුසට අහරක් නෙතට නින්දක් නොලැබ
බැදීමක පහසවත් ඇදින ගන්නට වෙලා නොමැති ව
ඉතුරැමක දා සුරැකි තඹ සත ටික
දිය කරති තරැ ගණින රැයක දි සදලු තලයක් මත හිද


ජීවිතය විදදරා සුරැකි සිය නෙත් යුග
දුරින් දුරකට වෙන් ව යන සෝ දරාගනු නොහැකිව
උණුසුමේ ගිලෙන්න ට තත්පරයකුදු නොගෙන
කාසිමත තැනු ඈ දිවිමග
පිතු රැවන ගි‍ලෙයි රහමෙර සයුර වෑරැ සෝ සුසුමකින් පා කර


හිරැ නගින හිරැ බසින සෑම දින කෙළවර
කුළුණුබර වූ වදන් ගළපා ගනු නොහැකිව
කාසි සොයමින් බො දුරක් ඇවිදන් ගිය
මව්වත ද ඉකිගසයි සොයා ගනු නොහැකිව අතපසු ව ගිය සෙනෙහස


මත් වූ දෙනෙතින් ඹබන නෑ පිරිවර
සුභපතති කියා සිහිකොට බුදුගුණ
සැනසෙන්න හා සබැදෙන්න කියූ ජයමන්ගල
පිරැවත ද වැනෙයි එක් තැනක මුල්ලක


ලැබූ නම දරා සිය පරපුරේ උරැමයෙන්
කියති කුල ගොත් එකෙක් පරයන උසස්කම්
කාසි සිල්ලර ගෙදොර පිර වූ සල්පිලෙ හි අවසන
වැඩිම ලන්සුව තීන්දුයි වෙන්දේසි විය යුවතිය


නේක විසිතුරැ වර්ණ මැද නිලන්කාර ව
වැනී වැනී තාලයට සයනයට බට හිමිකම
හෙට්ටු කොට නියම කර මිල ලබාගත් සිය වස්තුව
තුරැළු කොට කරයි ගණුදෙණු හැගුම් සිත්තම් පළවා හැර


ඉකිගසන ආත්මය මොණරැන් අතර සිර වී හඩනා කළ
සුදු සයන මත වැටුණි සුසුමකින් ගිලිහුණ ලුණු රස.............

Thursday, August 26, 2010

වදන් හිග වූ මොහොතක.......ඔහේ සැරිසරද් දී.......

ආ දුර බොහොයි. මටත් පුදුමයි අපේ සබදකම් සැගව ගිය හැටි ගැන..............
නෙත් අග කදුලු බිදු අරඅදියි.සගවමි ඔ‍බෙ න් අයැදුම් කුමටද ආදරයට............

Sunday, July 4, 2010

ආදරණීය ‍යෙහෙළිය ට......

සන්වේදී හිතැත්තෙකු ට යුද ජයග්‍රහණයකින් උන්මාදයට පත් විය නොහැකි ය. මන්ද එසේ සතුටින් ආළෝලනය වන සිතට කදුළු බිදුවක අමිහිරි වේදනාව නොපෙනෙණ හෙයිනි.පටු සීමා මායිම් බිද හෙලමින් යුද්ධය නිසාවෙන් සිය ආත්මය අහිමි වූවන්ගේ ජීවන ගීතයේ ස්වර සර හැදිනීමට සන්වේදී හිතැත්තෙකු ට හැකි විය යුතු ය.වෙඩි ප්‍රහාර, ප්‍රතිප්‍රහාර නොකඩවා සිය ජීවිතය මතට පතිත වන තෙක් කිසිත් කර කියා ගත නොහැකිව බලා හිදි අවතැන් වූ ජීවිත මම ආදරයෙන් වැළද ගමි.මගේ ජාතිය, ආගම,ලෙයෙහි පාට නොබලන්න.ඇවැසි වන්නේ ඔබට සහෝදරත්වයේ උණුසුම් ම ආවරණය ලබා දීම පමණි.එකම සම බිමක, එකම මිනිස් පවුලක ඉපිද ජීවත් වීමේ පරම අයිතිය අහිමි වූවන්ගේ විලාප දෙන ආත්මය අපගේ ජයග්‍රහණයේ ය‍ශෝරාවය නොවේ.ජාතිය නිසා කිසිවෙක් ත්‍රස්තවාදීයෙක් ලෙස සැළකීම මුග්ධ සිතුවිල්ලක් මිස අන් කවරක් හෝ නොවේ.

(සැ.යු .... ජීවිතය මතට පතිත වූ දරැණුතම කම්පනයක් හමුවේ වැහිකිරිල්ලීය ගේ තෙළිතුඩ නිහඩ විය.)



Thursday, May 20, 2010

එක හැගීමක්.............

ගොඩක් ලොකු වේදනාවක් දැනෙන මොහොතක්.මේ වේදනාවට හේතු සහ පිළිතුරැ නෑ.ඇස් අගින් කදුලු කැට කඩා වැටෙනවා.ඒ කදුලු හරි සීතලයි.ඒත් කිසිම අරැතක් නෑ.මේ අඩන්නට වෙලාව නෙවෙයි.විභාගය අත ළග.ඒත් ජීවිතය වේදනාබර සීතලක කිමිදෙන විට ඉන් මිදෙන්න ට මට හැකි ද?


අපි ජීවිතයෙන් ඉල්ලන සමහර දේවල් හරිම ආත්මාර්ථකාමී යි.මේ දේ මේ විදිහට ම වෙන්න කියලා ඉල්ලලා එහෙම නොවුනම ගොඩක් හිත රිදවා ගන්නවා.ඒත් අපි ඉල්ලන දේ ඒ විදිහටම අපට ලැබිය යුතුම ද?ප්‍රශ්නයක්....අහිමි වීම සිතට ඇතිකරන වේදනාව බොහොම අමිහිරියි. මේ අහිමිවීම ඒ තරම් ලොකු දෙයක් නෙවේ. ඒක එක හැගීමක් විතරමයි.just a feeling.ඒත් ඒ එක හැගීම වෙනුවෙන් ජීවිතය බොහෝ සීතල මතකමල් පුබුදුවන හැටි.

Sunday, May 16, 2010

මතක දිගහැරැම.........

වැස්සක් වැහැලා පෑයුවා.එසේ මෙසේ වැස්සක් නෙවේ.ධාරාණිපාත වැස්සක්.වැස්ස දිහා ඔහේ බලා ගෙන ඉන්නකොට ජයනි ප්‍රසාදනි ජයසිංහ ව මතක් වුණා.තමන් ට තමන් මතක් වෙනවා ගොඩක් අඩුයි නේ.මේ ඇය ගැන නම් නෙවේ.ඒත් අමතක කරන්න බැරි කදුලක් ඇස් අග තියනවා.කාටවත් නොපෙනෙන කවුරැවත් නොදකින අදුරැ ගුහාව පොඩ්ඩක් අවුස්සන්න හිතෙනවා.


ජීවිතේ මතුපිටින් පෙනෙන සරළ යථාර්තය මත ජීවත් වුණත් ඉබේ ම වගේ හදවත ජීවිතය ඇදගෙන ගියේ අමුතු ම දිශාවකට.පොඩිකාලේ කවුරැ වෙන්න ද කැමති කියලා කවුරැ හරි ඇහුවම බහුතරය කියන වෛද්‍යවරියක්, ඉංජිනේරැවරියක් වෙනවා කියනවට වඩා කාටත් කිවේ දේශපාලනය කරනවා කියලා.හැමෝම හිනාවුණා.මොකටද ? රට හදන්න.ජීවිතේ බෝ දුක් දරගෙන කෙම් බිමක් හොයන අම්මට මේ වචන නීරස වුනත් ක්‍රියාකාරී ව සමාජය වෙනස් කිරීමේ විප්ලවයට අතගසපු තාත්තා නම් බොහොම සතුටු වුණා මේ වචන අහලා.

ම‍ගේ දෝණි ටයර් උඩ පිස්සුන කෙනෙක් ද ‍කොහෙද කියලයි තාත්තා තමන්ගේ සතුට පිට කළේ.එකම දූ මල්වර වුණා ම පිච්ච මලින් සරසපු වතුරෙන් නාවලා පිරිසිදු කරලා සුදු පිරැවටයක දවටල ලෝකයට අණ බෙර ගහන්න අම්මගේ හිතේ ‍ලොකු ගෑණු ආසාවක් තිබ්බත් ඒ වැඩිහිටි වීම සමාජයෙන් හංගලා කුටුම්බය ඇතුළ ට පමණක් සන්නි‍වෙදනය කරපු තාත්තා රන් අභරණ මිල මුදල් වෙනුවට අතේ ගුලි කළේ පුංචි අත් ඔර්ලෝසුවකුයි, පුංචි කොළ කෑල්ලකුයි.එකේ මෙහෙම ලියලා තිබ්බා.

මල්වර නැකතින් දොරට වැඩිය දූ

දූ සරසන්නට අභරණ නැති දා

දෝර ගලා ආ දරැ සෙනෙහස

නාය ගියාදෝ නොදනිමි මා

ඇති නැති පරතර මැවෙනා ලෝකෙක

ඇති නැති පරතර මිහිදන් කෙරැමට මල්වර

නැකතින් පෙරට එන්න දූ

දූ සනසන්න ට දූ සරසන්න ට

අතමිට මා අත හිග මුත් දෝණි

හදවත තුළ අදිඨන නැගුමට යෝධ දිරිය මා සතුවේ දෝණි

දූටත් ඕන වුණේ වෙනසක්.යෙහෙළියෝ සම වයසේ බොහෝ දෙනා විරැද්ධ ලිංගිකයන්ට ආදර ඉගිබිගි පා කරද්දී සිනමාවේ වීරයෝ බිත්ති කාමර වල පුරවද්දී සුදු හුණු ගාපු දූගේ කාමරේ සැරසුනේ එකම ඡායාරෑපයකින්. ඒ ඡායාරෑපයට යටින් තිබ්බේ යමෙක් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ නම් හේ ‍මගේ ළග ම සගයා වේ කියලා.
දූටත් ඕන වුණේ වෙනසක්.යෙහෙළියෝ සම වයසේ බොහෝ දෙනා විරැද්ධ ලිංගිකයන්ට ආදර ඉගිබිගි පා කරද්දී සිනමාවේ වීරයෝ බිත්ති කාමර වල පුරවද්දී සුදු හුණු ගාපු දූගේ කාමරේ සැරසුනේ එකම ඡායාරෑපයකින්. ඒ ඡායාරෑපයට යටින් තිබ්බේ යමෙක් පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ නම් හේ ‍මගේ ළග ම සගයා වේ කියලා.


චේ ගේ ළගම සගයා වෙන්න දූ පෙරැම් පිරැවා.ආදරණීය සිහින දැවටුන පෙම් පිටු අතර සමීප යෙහෙළියන් සැගවෙද්දී දූ කියෙව්වේ තාත්තා දුන්න වානේ පන්නරය ලැබු හැටි , හඩනු මැන නිදහස , ඉතිහාසය මා නිදොස් කරාවි වගේ පොත්පත්. වෙනසක් හැම වෙලේම අපේක්ෂා කළා.එතරම් මහන්සි නොවුණත් පළවෙනි පාරම විශ්ව විද්‍යාලයට තේරෙද්දී තාත්තා ගොඩක් සතුටු වුණා.එක දෙයයි කීවේ.මේ ජීවිතේ රට වෙනුවෙන්.වෙනසක් ඕන.

මේ හැම පටලැවිල්ල අස්සේ ම මේ දූ ගෙයි තාත්තා ගෙයි සම්බන්දේ ශූන්‍ය වෙලාම ගියා කෙටි කාලෙකින් ම.ජීවිත වලට ගොඩක් අතුරැ මාර්ග එකතු වුණා.ජීවිත කතාව ගොඩක් වෙනස් විදිහ ට ලියවුණා.මේ කතාව මටත් නීරසයි වගේ.ඉතින් තවත් මොකට ද?

සබරගමු සරසවිය විදින්න ට.........

Wednesday, March 10, 2010

පිස්සාගේ ලෝකය: How Can I Not Love You?

පිස්සාගේ ලෝකය: How Can I Not Love You?මම මේ lab එකේ පාඩම් කරන ගමන්.අහිමි වීම හිතේ ඇති කරන වේදනාව වචන වලින් සුවපත් කරන්න බෑ කියල දන්නේ ඒ වේදනාව දන්න නිසා.ඒත් තේරැම් ගත්ත ඕන හිමිවීම ඇතුලේ තියෙන්නෙත් අහිමි වීමම තමා.අපි හැමෝම කැමති වගකීමෙන් ජීවිතේ ගත කරන්න.ඒත් අපි නොහිතන තැන් වලට ජීවිතේ අපිව ගෙනියනවා.ඉතින් ඒ හැම වෙනස් වීමක් ම දරාගන්නවා ඇරෙන්න මොනවා කරන්න ද?